ප්‍රශ්න තොරතුරු

මට විවාහ වෙලා අවුරුදු 3ක් උනත් තාම බබෙක් නැහැ.බෙහෙත් කරන ගමන් අපි දෙන්නා හැම මාසෙකම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා එ්ත් ඔසප් දවසට හැමදාම මම නොඅහන බැනුමක් නෑ.අපේ ඉඩමේ ගෙවල් 3ක් තියෙයි.පළවෙනි ගෙදර අයියලා දෙන්නෙක් ඉන්නවා එ් දෙන්නටම බබාලා නැහැ.එ් එක අයියා කෙනෙක් එ් ප්‍රශ්නේ නිසාම දෙවනි පාරටත් බැන්දා.එ්ත් එ් අක්කටත් බබාලා නැහැ.එ් උනාට අර කලින් ඩිවෝස් උන අක්කා දැන් එයාට බබෙක් ඉන්නවා.දැන් මටත් මගෙ නෑනටත් තවම පිළිසිදගැනීමක් නැහැ.ගොඩක් අය කියනවා අපේ ඉඩමට එන අයට බබාල නැහැලු අම්මලාගේ කාලෙන් පස්සේ.මට තේරෙන්නේ නැහැ මම මොනා කරන්නද කියලා.අැත්තටම එහෙම දේවල් වෙන්න පුලුවන්ද?මට කිසිම දෙයක් හිතාගන්න බෑ.බෙහෙත් කරන එකත් නතරකරලා හැමදේකින්ම අෑත් වෙන්න හිතෙනවා.අැත්තටම මට ඩිවෝස් වෙන්න පවා හිතෙනවා.එ්ත් එයාගෙන්තොර පිරිමියෙක් නම් මට එපා.මේ තරම් අැනුම්පදත් අහගෙන එයාගෙනුත් බැනුම් අහගෙන තවත් කොහොම ඉන්නද කියලා තේරෙන්නේ නෑ.එයා වත් මාත් එක්ක ඉන්නව නම් වටේ මිනිස්සු කියන කතා ඉවසන්න පුලුවන්.එ් උනාට එයාට නිවාඩු තියෙන්නෙත් මාසෙටම දවස්7යි මම ගෙදර ඉන්නෙත් පාලුවෙන්.එ් පාලුවෙන් ඔය හැමදේම දරා ගන්න අමාරුයි මට.දරුවෙක් හදාගන්නත් නිවාඩුව එ් දවස් වලට හදාගන්නෙ අමාරුවෙන්.එයත් පව්.මට තේරෙන්නෙනෑ මට කරන්න පුලුවන් දෙයක් කියන්න.

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

දරුවෙකු නොමැති වීම නිසාත්, සැමියාගේ දෝෂාරෝපණ නිසාත් ඔබ දැඩි වේදනාවකට මුහුණ දී සිටින බව පෙනෙනවා. දරුවන් නොමැති වීමට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ජිව විද්‍යාත්මක හේතු බලපෑ හැකිය. එම නිසා ඔබ දෙදෙනාම ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂා කරගෙන ගැටලුව ඇත්තේ ඔබ දෙදෙනාගෙන් කාටදැයි නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ. දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා වර්තමානය වන විට නවීන ප්‍රතිකාර හා ක්‍රමවේද බොහෝ ප්‍රමාණයක් ඇති නිසා වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකිය.
ඔබ සඳහන් කර ඇත්තේ ඔබ ජිවත් වන ඉඩමේම පදිංචි වී සිටි සහෝදරයෙකුටද දරුවන් නොමැති වීම නිසා ඔහු එම බිරිදගෙන් දික්කසාද වී ඇති බවත්, දෙවන වරට විවාහ වූ බිරිදටද දරුවන් නොමැති බවත්, පළමු බිරිද එම භූමියෙන් පිටව වෙනත් විවාහයක් කරගත් පසුව ඇයට දරුවෙකු ලැබුණු බවත්ය. එයින් ඔබ අදහස් කරන්නේ භුමි දෝෂය හේතුවෙන් එය සිදු ව ඇති බවක් නම් එය මේ ආකාරයටද සිදු විය හැකිය. ඔබ ප්‍රකාශ කරන පරිදි එයට බලපා ඇති හේතුව භුමි දෝෂය නොවීමටද පුළුවන. එනම්, ඇතැම්විට එම සහෝදරයාට පළමු විවාහයෙන් හා දෙවන විවාහය යන දෙකෙන්ම දරුවන් නොමැති වීමට හේතුව ඔහුගේ ගැටළුකාරී තත්ත්වයක් විය හැකිය. ඔහුගේ පළමු බිරිදට මේ වනවිට දරුවෙකු සිටින්නේ එම භූමියෙන් පිටවූ නිසාද, වෙනත් විවාහයක් කරගත් නිසාද යන්න ඔබම සිතා බැලීම යෝග්‍ය වේ.
මෙම අවස්ථාවේ ඔබ දෙදෙනා අතර ගැටුම් ඇති කරගැනීම සුදුසු නොවේ. දෙදෙනාම එකතු වී මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සුදුසු වේ. පළමුව ඔබ දෙදෙනා දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා මානසිකව සුදානම් විය යුතුයි. එම නිසා ඔබ දෙදෙනා අතර ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න. ඔබේ සැමියාට නිවාඩු ලැබෙන්නේ දවස් 7ක් පමණක් බව ඔබ සදහන් කර තිබෙනවා. හැකිනම් ඔහුට නිවසේ සිට රැකියාවට යාමට හැකිවන පරිදි මාරුවක් ලබාගැනීමට උත්සහ කරන්න.
එමෙන්ම සරු දිනවල ඔබ දෙදෙනා දරුවෙකු ලබාගැනීම සඳහා උත්සහ කිරීමද වැදගත් වේ. සරු දින ගණනය කරන ආකාරය මෙසේය. ඔබට ක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබේ නම් පමණක් සරු දින ගණනය කල හැක. උදාහරණයක් ලෙස දින 28 ක චක්‍රයක් තිබෙන කාන්තාවකගේ සරු කාලය වන්නේ දින 11 සිට 18 දක්වා අතර කාලයයි. එයිනුත් සරුම දවස් ලෙස ගැනෙන්නේ 13,14,15 යන දිනයි. මෙය ගණනය කරන්නේ ඩිම්බය පිටවන දින ආසන්න වශයෙන් සැලකිල්ලට ගෙනයි. එය දින 28 නම් 28 - 14 =14 හෝ දින 30 ක චක්‍රයක් නම් 30-14=16 ලෙස ගැනේ. ඊට කලින් හා පසු පසින් ඇති දින 3 බැගින් සරු කාලයයි. ඔබට තනිව එය ගණනය කිරීම අපහසු නම් පහත සබැදිය ඔස්සේ එය ගණනය කර ගත හැකිය.
https://www.webmd.com/baby/healthtool-ovulation-calculator
මෙම ක්‍රමවේද අනුගමනය කරන ගමන් භූමි දෝෂය හේතුවෙන් දරුවන් පිළිසිඳ නොගන්නේ යැයි ඔබ තුළ පවතින මතය සිතින් බැහැර කරගැනීම ඉතාම වැදගත් වේ. එමෙන්ම ඔබ දෙදෙනාට විවේකි අවස්ථා වලදී නිවසින් බැහැරව දිනක් ගත කළ හැකිය. එවිට ඔබ දෙදෙනාගේ මනස නිදහස් වීම නිසා දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සහ කළ හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 04 Mar 2021 Thu 7:47 PM