ප්‍රශ්න තොරතුරු

doctor man 2020 A/l liyapu lamek aththatama man inne godak dukin. mata apa wela wage man A/L kare Art walin  mage result gana man godak balaporoththu wen hitiye aeth result aka awe  AAC widiyata. mata issarahata karana kisi deyak gana hithenne na. mata aye exam liyanna ba mage gedara ae wage thathwayak na . mage Z- score aka 1.3163 mata issarahata yanna puluwan widiyak kiyanna puluwan nam mata aka loku shakthiyak  ..

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ උසස්පෙළ ප්‍රතිඵල පිළිබඳව ඔබ එතරම් සතුටුදායක තත්ත්වයක පසු නොවන බව පෙනේ. නමුත් ඔබ ලබා ඇති ප්‍රතිඵල උසස් අධ්‍යාපනය හැදෑරීමට හොඳින්ම ප්‍රමාණවත් වන බව මාගේ අදහසයි. ඔබගේ Z අගය 1.3163 වන නිසා ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතියි. රජයේ විශ්වවිද්‍යාල වල ඇතැම් උපාධි සඳහා තෝරාගැනීමේ පරීක්ෂණයක් මඟින් සිසුන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් පවතින බැවින් ඒ ආකාරයට ඔබට තේරී පත්වීමේ යම් ඉඩක් තිබේ. එමෙන්ම ඔබගේ Z අගය 1.3 ට වඩා ඉහළ වීම නිසා පළමු වර සලකා බැලීමෙන් ඔබ තේරී පත් නොවුණද දෙවන වර පුරප්පාඩු සඳහා සිසුන් බඳවා ගැනීමේදී ඔබ තේරී පත්වීමේ සම්භාවිතාවක් තිබේ. එමනිසා බලාපොරොත්තු අත්හැර නොගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීම වැදගත් වේ.

එමෙන්ම ඔබට උසස්පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ට වීමට අවස්ථාව නොලැබුණද එයින් අදහස් වන්නේ ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ නොවන බව නොවේ. ඔබට මෙම ප්‍රතිඵල මත බාහිර උපාධිය හැදෑරීමට හෝ විවෘත විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුවෙකු ලෙස ලියාපදිංචි වී විශේෂ උපාධියක් හැදෑරීමේ අවකාශය තිබේ. විවෘත විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමෙන් ඔබට අනෙකුත් රජයේ විශ්වවිද්‍යාල වලින් පිරිනමන උපාධියට සමානම උපාධියක් වසර 4ක කාල සීමාවක් තුළ ලබා ගැනීමේ හැකියාව පවතියි. ඒ සඳහා ඔබ කැමති විෂය ක්ෂේත්‍රයක පාඨමාලාවක් සඳහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේ හැකියාව පවතියි. ඒ සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න. https://ou.ac.lk/

ඔබට යම් ආර්ථික අපහසුතා පවතින බවත් ඔබ සඳහන් කොට තිබෙනවා. නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා දේශන පැවැත්වෙන්නේ සති අන්තයේ වීම නිසා ඔබට සතියේ දිනවල රැකියාවක් සිදු කර උපාධිය සඳහා අවශ්‍ය මුදල් එකතු කරගැනීමේ හැකියාව පවතියි. මේ සඳහා වාරික වශයෙන් ගෙවීමට හැකියාවක් පැවතීම නිසා එය ඔබගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු නැතැයි යන්න මාගේ අදහසයි.

ඔබගේ මෙම උසස් පෙළ ප්‍රතිඵල මත ඔබට ජීවිතය ජයගැනීමට මෙතරම් අවකාශ තිබෙන නිසා තවදුරත් ඒ පිළිබඳව සිතමින් දුක් වීම අනවශ්‍ය වේ. අද සිටම ඔබ කළ යුතු වන්නේ ඔබ වඩාත් ප්‍රිය කරන වෘත්තීය ක්ෂේත්‍රය කුමක්ද යන්න සිතා බලා එයට ගැළපෙන උපාධි පාඨමාලාවක් තෝරාගෙන ඒ සඳහා සුදානම් වීමයි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 May 2021 Thu 10:02 PM