කාන්තා අයිතිවාසිකම්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව වන කතිකාවත මේ වනවිට ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් මාතෘකාවක් වේ. අතීතයට සාපේක්ෂව කාන්තා අයිතිවාසිකම් වර්ධනය වීම පැහැදිලිව පෙන්නුම් කෙරෙන නමුත් පුරුෂාධිපත්‍ය හා බැදී පැවති සමාජ ක්රමයන් වෙනස් කිරීම ක්ෂණිකව සිදු කළ හැකි කටයුත්තක් නොවේ. කාන්තාව ද සෙසු පුද්ගලයන්ගෙන් වෙනස් නොවන නමුත්, සමාජ, ආර්ථික, අධ්‍යාපන සහ දේශපාලනික වශයෙන් ඔවුන්ට තවමත් බොහෝ විට ලැබෙන්නේ පසු පෙළ අසුනකි. මේ හේතුවෙන්, කාන්තාවන් වෙනුවෙන් වෙනම හඬක් නැගීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ. එහිදී කාන්තාවට හිමි අයිතිවාසිකම් කවරේද යන්න සම්බන්ධයෙන් සියලු පුද්ගලයන් දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය වේ.
කාන්තා අයිතිවාසිකම් යනු පවුල සහ සමාජය තුළ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට ඇති තත්ත්වය නගා සිටුවීම සහ ඔවුනට සමාන ලෙස සැලකීම සහ නීතියේ සමාන ආරක්ෂාව සැලසීම අරමුණු කරගත් අයිතිවාසිකම් හා නිදහස්ය. කාන්තා අයිතිවාසිකම්වලට කාන්තාවන් සහ ගැහැණු දරුවන් සතු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, සමාජ, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළත් වේ. මේවා අන්තර්ජාතික හා කලාපීය මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් මෙන්ම ලොව පුරා ඇති රටවල දේශීය නීතීන් මගින්ද පිළිගෙන ඇත.
කාන්තාඅයිතිවාසිකම්පිළිබඳඅන්තර්ජාතිකනීතිරාමුව
කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික නීති රාමුව පහත ලේඛන තුළින් ප්‍රධාන වශයෙන්ම පරිදි හඳුනා ගත හැකිය.
1. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය (UDHR )
2. ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR)
3. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR)
4. කාන්තාවන්ට එරෙහිව කෙරෙන සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ සම්මුතිය
(CEDAW)
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය (UDHR )
02 වගන්තිය – ජාති, වංශ, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලන ආදී කවර භේදයක් හෝ සමාජ,ජාතික,දේපල, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප්රකාශනයේ සඳහන් සියලු හිමිකම් හා ස්වාධීනත්වයන් සෑම පුද්ගලයකුටම උරුම වන්නේය.
07 වගන්තිය – සියල්ලන්ම නීතිය ඉදිරියේ එකිනෙකාට සමාන වන අතර නීතියේ ආරක්ෂාව ලැබීමට
කිසිඳු විශේෂයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. එයට පටහැනි ලෙස කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් සියල්ලන්ටම හිමිවේ.
16 වන වගන්තිය 1). පූර්ණ වියට පත් සියලු ස්ත්‍රී පුරුෂයන්ට ජාතිය, ජාතිකත්වය හෝ ආගම ආදී කිසිඳු
සීමාවක් නොතකා විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය ඇත්තේය. විවාහ වීමේදී
මෙන්ම විවාහය අවලංගු කිරීමේදී ද ඔවුහු සමාන අයිතිවාසිකම් දරති.
2). විවාහයකට ඇතුලත් කළ යුත්තේ එසේ ඇතුළත් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ සම්පූර්ණ
නිදහස් කැමැත්ත මත පමණකි.
3). සමාජයේ ස්වභාවික වූත් මූලික වූත් සමූහ ඒකකය වන පවුල සමාජයේ හා රාජ්‍යයේ රැකවරණ ලැබීමේ අයිතිය දරයි.
23(2) වන වගන්තිය – කිසිඳු විශේෂතාවයක් හෝ වෙනස්කමක් හෝ නොමැතිව සමාන වැඩට සමාන වැටුප්
ලැබීමේ අයිතිය සෑම පුද්ගලයකු සතුව ඇත.
25(2) වන වගන්තිය – මාතෘ භාවය හා ළඳරු භාවය විශේෂ උපකාර හා ආරක්ෂාව උරුම තත්ත්වයෝය.
විවාහ හෝ අවිවාහ මවුවරුන්ගෙන් ලැබෙන සියලුම දරුවෝ සමාන ආරක්ෂාවට
හිමිකම් ඇත්තෝය.
ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR)
- 2(2) වන වගන්තිය
- 3 වන වගන්තිය
- 7(අ) i වන වගන්තිය
- 10 (1), 10(2) සහ 10(3) වන වගන්ති
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR)
- 2(1) වන වගන්තිය
- 3 වන වගන්තිය
- 23 වන වගන්තිය
- 26 වන වගන්තිය
කාන්තාවන්ට එරෙහිව කෙරෙන සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ සම්මුතිය (CEDAW)
සීඩෝ සම්මුතිය මානව අයිතිවාසිකම් ක්ෂේත්රයෙහි කාන්තා අයිතිවාසිකම් පෙරමුණු කොටගත් සම්මුතියකි. සිය අයිතිවාසිකම් අහිමි වූ කාන්තාවන්ට සීඩෝ කමිටුවට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පැමිණිලි කිරීමේ යාන්ත්‍රණයක් ද මෙම සම්මුතිය හා සබැඳි වෛකල්පික සන්ධානය සපයයි. මෙම සම්මුතිය මුලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි විශ්වාසය නැවත තහවුරු කිරීමටත්, කාන්තාවගේ ගරුත්වය හා අගය වෙනුවෙන් කැපවීමටත් ස්ත්‍රී පුරුෂ සමානතාවය පිළිබඳ අයිතිවාසිකම් පිළිගැනීමට හා හඳුනා ගැනීමටත් කැප වී ඇත. සමාන්ත්වතාවය යනු කුමක්ද යන්නත් එය ලබා ගන්නා ආකාරයත් සීඩෝ සම්මුතිය මගින් විස්තර කරයි. තව ද කාන්තා අයිතිවාසිකම් සහතික කිරීම සඳහා විවිධ රටවලට ක්‍රියාකාරී න්‍යාය පත්‍රයක් මෙමගින් ඉදිරිපත් කොට ඇත.
කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දේශීය නීති රාමුව
1993 දී ශ්‍රී ලංකාව විසින් කාන්තාවන්ට එරෙහි හිංසන තුරන් කිරීමේ ප්රකාශනය අත්සන් කරන ලදී. 1981 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ එකසත් ජාතීන්ගේ සම්මුතිය ස්ථිර කරන ලදී. තවද කාන්තාවන් හා පුරුෂයන් අතර සමානාත්මතාවය පිළිබඳ ප්‍රතිපත්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පහත ලේඛන වැදගත් වේ.
- 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
- 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළක්වීමේ පනත
- කාන්තා ප්රඥප්තිය
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
12(2) වන ව්‍යවස්ථාව – කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන
මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත
වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.
12(3) වන ව්‍යවස්ථාව –වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර
වූ හෝ හේතුවක් මත හෝ වෙළෙඳ සැල්වලට, පොදු භෝජනාගාරවලට, ආපන ශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළු වීම සම්බන්ධයෙන් යම් ආශක්නුතාවයකට, බැඳීමකට සීමා කිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙකු යටත් නොවන්නේය.
12(4) වන ව්‍යවස්ථාව –කාන්තාවන්ගේ, ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සඳහා නීතියෙන්
හෝ අනු නීති වලින් හෝ විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීම මේ ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේය.
කාන්තා ප්රඥප්තිය
කාන්තා ප්රඥප්තිය තුළ කාන්තාවකට හිමි විය යුතු දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්, පවුල් ඒකකය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, අධ්‍යාපනයට සහ පුහුණු වීමට ඇති අයිතිය, ආර්ථික කටයුතුවලට සහ එහි ප්‍රතිලාභවලට ඇති අයිතිය, සෞඛ්‍යාරක්ෂාවට සහ පෝෂණයට ඇති අයිතිය, සමාජ වෙනස්කම්වලින් ආරක්ෂා වීමේ අයිතිය, ස්ත්‍රී පුරුෂ භේදයෙන් ඇති වන සැහැසි ක්‍රියාවලින් ආරක්ෂා වීමේ අයිතිය යනාදිය විශේෂයෙන් දක්වා ඇත.
තවද මීට අමතරව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට වරින්වර ගෙන ආ සංශෝධන මගින් ව්‍යභිචාරය, වෛවාහක ස්ත්‍රී දුෂණය, ලිංගික අතවර, අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම, බරපතල ලිංගික අපයෝජනය සහ මිනිස් වෙළදාම වැනි නව දණ්ඩනීය වරදවල් හඳුන්වා දී ඇති අතර ස්ත්‍රී දුෂණය සඳහා වන දඬුවම් වැඩි කොට වින්දිතයන්ට සිදු වන ජීව විද්‍යාත්මක සහ මානසික කම්පනය සඳහා වන්දි ගෙවීම අලුතින් හඳුන්වා දී ඇත. තවද කාන්තාවන්ට අසාධාරණ ලෙස බලපාන ලද ඇතැම් විවාහ නීති සංශෝධනය කිරීම සඳහා ද පියවර ගෙන ඇත.
මූලාශ්‍රය : කාන්තා පිහිට