දරුවකු බලාපොරොත්තු වන ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගත යුත්තේ ඇයි?

Help Us Spread the Word!

දරුවකු අපේක්ෂා කරන කාන්තාවන් බහුලව භාවිතයට ගන්නා විටමිනයක් වශයෙන් ෆෝලික් ඇසිඩ් හඳුන්වා දිය හැකියි. ඔබ ඇතැම්විට දරුවකු අපේක්ෂාවෙන් සිටිනවානම් මේ වනවිටත් ෆෝලික් ඇසිඩ් ලබා ගන්නවා ඇති. අප දිනපතා ලබා ගන්නා ආහාර මගින් ශරීරයට ලබා ගන්නා Vitamin B9 කියන්නෙත් මේ ෆෝලික් ඇසිඩ් වලටම තමයි. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට වර්ග සහ කුකුළු මස් වැනි ආහාර වල මේ Vitamin B9 අඩංගු වුවත් ගර්භනී සමය තුළ දෛනිකව සපුරා ගත යුතු ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක් පමණ ප්‍රමාණයක් සපුරා ගැනීමට අපි ගන්නා ආහාරම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසාම අපට සිද්ද වෙනවා පිටතින් ඒම විටමිනය ශරීරයට ලබා දෙන්න.

Vitamin B9 ඒසේත් නැත්නම් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි?

පුද්ගල වර්ධනයට මූලික වන සෛලයන්හි නිසියාකාර වර්ධනයටත් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමටත් ෆෝලික් ඇසිඩ් අත්‍යාවශ්‍ය විටමිනයක්. මීට අමතරව ශරීරයේ රතු රුධිරාණු නිෂ්පාදනය කිරීමටත් උපකාරී වෙනවා. මේ හේතුව නිසාම නිසියාකාරව ෆෝලික් ඇසිඩි වල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වුවහොත් රතු රුධිරාණූ නිපදවීම අඩාල වී නිරක්තිය වැනි රෝගිබාධ වලටද මුහුණ දීමට සිදුවෙනවා. මීට අමතරව ගැබිණි කාන්තාවක් මෙම ෆෝලික් ඇසිඩ් ඌණතාවයකින් පෙළුණහොත් ඒය සෘජුවම ඇයගේ කළලයට බලපෑම් සිදු කරනවා. ඒමගින් දරුවාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව දරුණු සංකූලතා ඇති කරවීමේ ඉහළ සම්භාවිතාවක් පවතිනවා. හිස්කබල සහ මොලය වර්ධනය නොවන දරුවන් (Anencephaly) සහ ස්නායු පද්ධතියේ කොටස් හිසේ පිටුපසින් සහ කොඳු ඇට පෙල ආශ්‍රිතව පිටතට පැමිණිය හැකි තත්වයන් (Neural tube defects) ෆෝලික් ඇසිඩ් ඌණතාවය මගින් කළලයට සිදුකර ඇතිබලපෑම අපට පෙන්වනු ලබන අවස්ථාවන් කිහිපයක්. මෙවැනි දරුවන් බොහෝ විට ජීවත් නොවන අතර ඇතැමුන් සිය කෙටි ජීවිත කාලයම ඉතා වේදනාත්මක අයුරින් ගත කරනු ලබයි.

ගැබිණි ඔබ ෆෝලික් ඇසිඩ් ලබාගත යුත්තේ ඇයි?

අපි ඉහත සඳහන් කළා මෙහි ඇති වැදගත්කම වගේම භයංකරත්වය. ගැබිණි ඔබගේ අරමුණ නිරෝගී යහපත් සෞඛ්‍යයෙන් යුතු දරුවකු මෙලොවට බිහි කිරීමයි. මේ සඳහා අනුගමනය කළ හැකි සරලම සහ වඩාත් සාර්ථකම ක්‍රියාව වනුයේ ෆෝලික් අම්ලය නිසියාකාරව ලබා ගැනීමයි.

දරුවකු අපේක්ෂා කරන ඔබ ඊට මාස 03කට පමණ පෙර සිට ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 1 ක පෙත්තක් දිනපතා ලබා ගැනීමෙන් ඔබට නිරෝගී දරුවකු බිහි කිරීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ අතුරු ආබාධ ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන් වෛද්‍ය උපදෙසකින් තොරව වුවත් ඔබට මෙම පෙති මිලදී ගැනීමට හැකියාව පැවතීමයි. කෙසේ වූවත් මේ සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් මතු වුවහොත් ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර මිලෙන් තරමක් වැඩි K Methylfolate නම් වෙනත් ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. දිනයේ ඕනෑම වේලාවක ඔබට මෙම සියළු ෆෝලික් ඇසිඩි පෙති භාවිතයට ගත හැකියි.

අධික ලෙස තරබාරු කාන්තාවන්, දියවැඩියා රෝගයෙන් පෙලෙන කාන්තාවන් මෙන්ම අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා සහ කලින් සංකූලතා ඇති දරුවකු බිහි කල කාන්තාවන් සඳහා මෙලෙස ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 1 ක පෙත්තක් ලබා ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒවැනි කාන්තාවන් දිනකට අවම වශයෙන් මිලිග්‍රෑම් 5කවත් ලබාගත යුතු බව වෛද්‍ය නිර්දේශයයි.

හෙට දවසේ නිරෝගී දරුවකු බිහිකිරීමේ අරමුණ ඇති කාන්තා ඔබ අමතක නොකළ යුතු මතකයේ තබාගත යුතු ඉතා වැදගත්ම කරුණ වන්නේ විවාහයෙන් පසු ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමයි.

මුලාශ්‍රය: Doc990


Help Us Spread the Word!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *