බාලවයස්කාර දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධ නීති තත්ත්වය

Help Us Spread the Word!

බාලවයස්කාර දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ මෙරට නීති තත්වය විම්සා බැලීමේදී දරුවන්ගේ උපරිම භාරකාරත්වය හිමි වන්නේ කාටදැයි යන්න පිලිබඳ වන පිළිතුර ඔබ සිතනවාට වඩා වෙනස් වේ.ඔබ සිතන්නේ දරුවෙකුගේ උපරිම අයිතිය මවට, පියාට හෝ භාරකරුට හිමි වන බවයි. නමුත් 1978 අංක දරන අධිකරණ සංවිධාන පනත අනුව අදාල අධිකරණ බල ප්‍රදේශයේ බාල වයස්කාර දරුවන්ගේ උපරිම භාරකාරත්වය හිමි වන්නේ ඔබ අයත් දිසා අධිකරණයෙහි විනිසිරුතුමාට හෝ ගරු විනිසුරුතුමිය වෙතයි. බොහෝ විට දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධව වන ගැටලු පැන නගින්නේ දෙමාපියන් දික්කසාද වීමක දීය. බහු විධි නීති පද්ධතියක් ක්‍රියාත්මක වන අප රටෙහි මුස්ලිම් නීතිය පිලිබඳ සළකා බැලීමේදී මවගේ බරපතල ගණයේ නොමැතිනම් ගැහැණු දරුවන් මෙන්ම වයස අවුරුදු 07 දක්වා පිරිමි දරුවන්ද මවගේ භාරකාරත්වය යටතට පත් කරනු ලබයි.

මුල් කාලීනව රෝම ලන්දේසි නීති සංකල්පය වන පියා දරුවාගේ භාරකරුය යන නීති සංකල්පය අද වන විට ක්‍රියාත්මක නොවී ඒ වෙනුවට ක්‍රියාත්මක වන්නේ දරුවාගේ උපරිම යහපත යන සංකල්පයයි. එහිදී ස්ත්‍රී පුරුෂභාවය මත දරුවාගේ භාරකාරත්වය මවට හෝ පියාට හිමි වන්නේ නැත.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 10 කට වැඩි දරුවෙකුගෙන් තම භාරකාරත්වය දැරිය යුතු වන්නේ කවුරුන්ද? යන්න පිළිබඳව කැමැත්ත විමසන නමුත් එකී කැමැත්තට අවසර ලබා දීම සිදුවන්නේ දරුවාගේ උපරිම යහපත සංකල්පයට අනූවය. දරුවෙකුගේ භාරකාරත්වය අධිකරණය විසින් යම් පාර්ශවයකට ලබා දීමට පෙර මෙන්ම පසුවද පරිවාස වාර්තා කැඳවමින් අදාළ දරුවාගේ තත්වය පිලිබඳ අධිකරණය සළකා බලනු ලබයි. දරුවෙකුගේ භාරකාරත්වය තීරණය කිරීමේදී පරිවාස වාර්තා අතිශය වැදගත් අංගයකි. උපරිම යහපත යන සංකල්පය හරහා දරුවාගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව, තම සහෝදර සහෝදරියන් සමග සම්බන්ධතා පැවැත්වීම, ආගමික පරිසරය, මානසික නිදහස ආදී බොහෝ කරුණු අධිකරණය විසින් සළකා බලනු ලබයි.

දික්කසාද ආශ්‍රිතව පැන නගින මූලික ගැටලුවක් ලෙස භාරකාරත්වය හඳුනා ගත හැකි අතර තමන්ට දරුවාගේ ශාරිරික හා නෛතික භාරකාරත්වය හෝ ප්‍රවේශ අයිතිය පමණක් ඉල්ලා සිටිමේ හැකියාව පාර්ශවයන් සතු වන අතර දරුවාගේ උපරිම යහපත පිළිබඳව සාක්ෂි මගින් අධිකරණය තෘප්ත කරන්නා වූ පාර්ශවයට ඉහත කී අයිතීන් ලබා ගැනීමේ හැකියාව පවතී. නීත්‍යානුකූල කුලවද්දාගත් දරුවන් පිළිබඳවද මෙම නීති තත්වයන් එලෙසෙම බළපානු ඇත. භාරකාරත්ව නඩුවකදී සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 620- 624 දක්වා වගන්ති සහ අධිකරණ සංවිධාන පනතේ 05 සහ 24 වන වගන්තිය වැදගත් වන අතර ලඝු කාර්ය පටිපාටිය යටතේ භාරකාරත්වය නඩුව ගොනු කළ යුතුය. දරුවන්ගේ උපරිම යහපත සංකල්පය පිළිබඳ දැනුවත් වීම, සහ ඒ අනූව කටයුතු කිරීම ළමා පරපුරෙහි උන්නතිය වෙනුවෙන් වැඩිහිටි ප්‍රජාවගේ වගකීමක් වෙන්ම යුතුකමක් වේ.

මූලාශ්‍රය : කාන්තා පිහිට


Help Us Spread the Word!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *