දරුවෙකු දරුකම ට හදා ගැනිම/ කුල වද්දා ගැනීම

Help Us Spread the Word!

දරුවන්ගේ ඉහලම භාරකරු වන්නේ අධිකරණයයි. දරුවන්ගේ උපරිම යහපත සහ අභිවෘද්ධිය සැලැස්වීමට අවශ්‍ය සියලු විධි විධාන සැලැස්වීමේ බලයද අධිකරණය සතු වේ.

දරුවෙකු නීත්‍යානුකූලව දරුකමට හදා ගැනීම නැතහොත් කුල වද්දා ගැනීම සඳහා පොදු නීතිය යටතේ බලපානු ලබන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 1941 අංක 24 දරණ දරුවන් දරුකමට හදා ගැනීමේ ආඥා පනතයි.

නීත්‍යානුකූලව දරුවකු කුල වද්දා ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය අවශ්‍යතා එම පනතේ විධි විධාන මගින් දක්වා ඇත.

කුල වද්දා ගැනීමේ නඩුකරය පවත්වා ගෙන යෑමට සහ කුල වද්දා ගැනීමේ නියෝගය ලබා දීමේ අධිකරණ බලය සතු වන්නේ දිසා අධිකරණයට ය.

එවැනි ඉල්ලීමක් දරුවකු කුල වද්දා ගැනීමට අපේකෂිත ඉල්ලුම්කරුවන් පදිංචි අධිකරණ බල ප්‍රදේශයේ දිසා අධිකරණය වෙත ලඝු කාර්ය පටිපාටිය යටතේ ඉදිරිපත් කල යුතුය.

එවැනි ඉල්ලීමක දී ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 25 සම්පූර්ණ කල අයවලුන් විය යුතුය. තවද දරුවාගේ වයස අවුරුදු 14 ට අඩු විය යුතුය. එමෙන්ම ඉල්ලුම්කරුවන්ගේ සහ දරුවාගේ වයස් අතර පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුය.

එමෙන්ම දරුවකු හදා වඩා ගැනීමේ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික වශයෙන් මනා වටපිටාවක් ස්ථාවරත්වයක් ඇති බවට ඉල්ලුම් කරුවන් සාක්ෂි ඉදිරිපත් කල යුතු අතර අදාල ප්‍රදේශයේ පරිවාස නිලධාරි මගින් ද වාර්තා කැඳවා ඒ බව තහවුරු කර ගැනීමට අධිකරණය ද ක්‍රියා මාර්ග ගනී.

තවද දරුවෙකු සොයා ගැනීම ඉල්ලුම්කරුවන් විසින්ම හෝ ළමා නිවාසයකින් පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලේඛනයේ ලියාපදිංචි වී කරනු ලබන ඉල්ලීමක් මගින් සිදු කල හැකිය.

දරුවකු ලබා දීමට දරුවාගේ ස්වාභාවික මව සහ පියා කැමැත්ත ප්‍රකාශ කල යුතුය අවිවාහජ දරුවෙකු නම් ස්වාභාවික මවගේ කැමැත්ත අවශ්‍ය වේ. ළමා නිවාසයක හෝ රජයේ නිවාසයක භාරයේ සිටී නම් අදාල භාරකරුගේ ප්‍රකාශිත කැමැත්ත අවශ්‍ය වේ. දරුවාගේ ද කැමැත්ත අධිකරණය විසින් විමසනු ලබයි. දරුවා ලබා ගැනීමට අදාලව කිසිදු ආකාරයක මුදලක්, ත්‍යාගයක්, ප්‍රතිෂ්ඨාවක් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දීම හෝ ලබා දීමට පොරොන්දු වීම, ඉල්ලුම්කරුවන් විසින් කිසිසේත්ම නොකල යුතු වන අතර අධිකරණයේදී ඒ බව තහවුරු කල යුතුය.

දරුවාගේ උපරිම යහපත සහ අභිවෘද්ධයද ඉල්ලුම්කරුවන්ගේ නීත්‍යානුකූල ඉල්ලීමද එහි සඳහන් කරුණුද සලකා බලා අධිකරණය සෑහීමකට පත් වන්නේ නම්, කුල වද්දා ගැනීමේ අධිකරණ නියෝගය නිකුත් කරනු ලබයි.

එසේ කුල වද්දා ගැනීමකදී ඉල්ලුම්කාර පියාගේ පෙලපත් නාමය දරුවාට හිමි වේ. ඉල්ලුම්කරුවන් කැමති නමක් දරුවාගේ නම ලෙස ඇතුලත් කිරීමටද අවසරය ලබා දේ. ඉල්ලුමකරුවන්ගේ විස්තර දරුවාගේ පියා ගේ සහ මව ගේ විස්තර වශයෙන් ඇතුලත් කොට දරුවාට නව උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාලවරයාට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලබයි.

කුලවද්දා ගැනීමෙන් පසු ඉල්ලුමකරුවන් අදාල දරුවාගේ ස්වාභාවික දෙමව්පියන් ලෙස සලකනු ලබන අතර දරුවා සම්බන්ධයෙන සියලු අයිතිවාසිකම් ඔවුන්ට හිමි වේ. එමෙන්ම කුල වද්දාගත් දරුවාටද එකි ඉල්ලුම්කාර දෙමාපියන්ගේ දෙමාපිය අයිතිවාසිකම් හා උරුම අයිතිවාසිකම් හා උරුම අයිතිවාසිකම් සියල්ල හිමි වේ.

මෙහිදි වැදගත් කරණු කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත නීතිය විශේෂත්වයක් දරයි.

එනම්

  1. ඉල්ලුම්කරුවන්ගේ සහ යොජිත දරුවාගේ වයස් පරතරය අවුරුදු 21 ට වැඩි වීමේ අවශ්‍යතාවය පහත සඳහන් අවස්ථාවලදී වෙනස් කොට සලකනු ලබයි.
    • අදාල දරුවා ඉල්ලුමකරුගෙන් කෙලින්ම පැවත එන්නෙකු නම්
    • අදාල දරුවා ඉල්ලුම්කරුගේ පූර්ණ හෝ අර්ධ සහෝදරයකු හෝ සහෝදරියක වන විට
    • අදාල දරුවා ඉල්ලුමකරුගේ බිරිඳගේ හෝ සැමියාගේ වෙනත් විවාහයක දරුවකු වන විට
  2. ඉල්ලුම්කරුවන්ගේ සහ යොජිත දරුවාගේ වයස් පරතරය අවුරුදු 21 ට වැඩි වීමේ අවශ්‍යතාවය පහත සඳහන් අවස්ථාවලදී වෙනස් කොට සලකනු ලබයි.
  3. ඉල්ලුම්කාර සැමියා සහ ඉල්ලුම්කාර බිරිඳ යන දෙදනාට ජීවතුන් අතර සිටින විට එක් අයෙක් පමණක් අදාල ඉල්ලීම සිදු කරයි නම්.
    • එක් පාර්ශවකරුවකු සොය ගත නොහැකි නම්
    • දෙදෙනා දික්කසාද වී ඇත්නම්
    • එක් විවාහක පාර්ශවකරුවකු මානසික ආබාධයකින් පෙලෙන්නේ නම්

යන අවස්ථා හැරෙන්නට,

අනෙක් විවාහක පාර්ශවකරුගේ කැමැත්ත නොමැතිව දරුකමට හදා ගැනීමේ නියෝගයක් ලබා නොදේ.

දරුවකු දරුකමට හදා ගැනීමේ දී දරුවාගේ උපරිම යහපත සංකල්පය කුලවද්දාගැනීම ආඥා පනතේ හතර වන වගන්තියේ විග්‍රහ කරනු ලබන්නේ, දරුවාගේ උපරිම මානසික සහ සෞඛ්‍යමය යහපත වන අතර එහි දී මානසික සෞඛ්‍යය කාරණයේ දී ජීවවිද්‍යාත්මක මවගේ දරුවා කෙරෙහි ඇති බැඳීම සලකා බැලෙන අතර කිසි විටෙකත් ඇයගේ අකමැත්තෙන් දරුවා ඇගෙන් වෙන් කරනු නොලබයි . යම් විටක මව සිහි විකලත්වයට හෝ මානසික ආබාධයකට ලක් වුව ද දරුවාගේ භාරකාරත්වය හා අයිතිය දරන්නේ දරුවා අයිති පළාතේ දිසා අධිකරණය යි.

විදේශ රටක ජීවත් වන විදේශික දෙමාපියන්ට වුවද ශ්‍රී ලාංකික දරුවකු කුලවද්දා ගැනීමේ හැකියාවක් ඇත . සඳහා එයටම ආවේණික හා විශේෂිත වූ නීති පද්ධතියක් හා කාර්ය පටිපාටියක් පවතී . අදාළ දරුවා රජයේ ළමා ළමා නිවාසයක ජීවත් විය යුතු අතර අනත් දරු ආඥා පනත යටතේ ලියා පදිංචි දරුවකු විය යුතුය .එම කුලවද්දා ගැනීමට බලාපොරොත්තු වන දෙමව්පියන් ද ඔහු ජීවත්වෙන රටෙහි ශ්‍රී ලාංකික තානාපති සබඳතාව හරහා කළ යුතු කාර්ය පටිපාටික ක්‍රියා වලින් කිහිපයක් ඇත . දරුවා කුලවද්දා ගැනීමෙන් පසු වුව ද දරුවා පිළිබඳව දරුවාට අවුරුදු දහය සම්පූර්ණ වන තුරුම කාලීන පසු විපරමක් සිදු කරනු ලැබේ

උඩරට නීතියේ හා තේසවලමෙයි නීතිය අනුව කුලවද්දා ගැනීමේ පටිපාටිය හා කුල වද්දා ගත් දරුවකුට ලැබෙන නීතිමය අයිතියේ යම් යම් වෙනස් කම් ඇත . තේසවලමේ හෝ උඩරට නීතිය හෝ මුස්ලිම් නීතිය හෝ පවතින භාවිතාවන අනු නීති ක්‍රමයක් හෝ සම්ප්‍රදායක් කිසිවිටෙක පොදු නීතිය අභිබවන්නේ නැති අතර පොදු නීති රාමුව බිඳ නොදමන තාක් කල් එම අනු නීතීන් වල ඇති නීතිමය ප්‍රතිපාදන අහෝසි වන්නේ ද නැත .නමුදු අද බොහෝවිට භාවිතා කෙරෙන්නේ කුලවද්දා ගැනීම පිළිබඳ සාමාන්‍ය පොදු නීතියයි .

මූලාශ්‍රය : කාන්තා පිහිට


Help Us Spread the Word!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *