ප්‍රශ්න තොරතුරු

mage muna thel gathiya thiyanawa eka nisa sudu wenna kreem ekak kiyannako hoda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සමට අහිතකර නොයෙකුත් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ ආලේපන බොහොමයක් වෙළෙඳපොළෙහි බහුලව දක්නට ලැබේ. සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක්දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
ශ්‍රී ලාංකිකයින් බහුතරයට උපතින් හිමි වන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සමකි. මෙලනින් වර්ණකය අධික සමක් පිහිටීම සහ සම නිරන්තරයෙන් අව් රශ්මියට නිරාවරණය වීම තද පැහැති සමක් ලැබීමට හේතුවක් ලෙස දැක්විය හැකිය.
සම පැහැපත් කරවන ආලේපන වලින් මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර, එය ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධා පමුණුවයි. එමෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මඟින් සමෙහි ඉහළම ස්ථරය ඉවත් කිරීම මඟින් අහිතකර සූර්ය කිරණ සහ පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍යවලට සම නිරාවරණය කෙරෙනු ඇත.
රසදිය අඩංගු නිෂ්පාදන දීර්ඝ කාලීන භාවිතය තුළින් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙව්ලීම, නොයෙකුත් ආසාදන තත්වයන් සහ ගර්භණී මවක් නම් දරුවාගේ වර්ධනයට පවා බලපෑම් එල්ල වෙන්න හැකියි.
සෑම පුද්ගලයෙකුටම එකිනෙකාට අනන්‍ය වූ රූප ස්වභාවයක් තිබේ. සම සුදු කරගැනීමට යාමෙන් අනවශ්‍ය කරදර රාශියකට මුහුණ පෑමට සිදු වේ. එමනිසා අපට උපතින් ලැබුණු රූපය පවත්වාගෙන යාමට ක්‍රියා කිරීම වඩාත් සුදුසු වේ. ඒ සඳහා ඔබට නැවුම් එළවලු, පලතුරු ආහාරයට ගැනීම, ඔබගේ ශරීර ස්කන්ධයට අනුව දිනපතා අවශ්‍ය වන ජල පරිමාව පානය කිරීම ආදිය සිදු කළ හැකිය. මීට අමතරව ඔබ අඳින පළදින ආකාරය, කොන්ඩ විලාසිතාව ඔබට ගැලපෙන ආකරයෙන් වෙනස් කරගැනීම මගින්ද ඔබගේ සුන්දරත්වය වර්ධනය කරගත හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 04 Feb 2021 Thu 9:22 AM