ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් මම වයස අවුරුදු 23ක තරුණියක්...මා හට අවුරුදු 16දී පාසල් ප්‍රේමයක්ද තිබුනි.එය වසර 3ක පමන කායක් තිබුනා.ඒ කාලෙ දැනුන හැගීම හරිම අමුතුයි.එයා මගෙ අතකින් ඇල්ලුවත් මුලු ඇගම හිරිවැටෙනවා වගෙ.තව මගෙ යෝනි මාර්ගෙන් යම්කිසි දෙයක් ස්‍රාවය වෙනවා වගෙත් දැනුනා.ඒ නිසා මන් ගොඩක් බය උනා ඇයි මෙහෙම වෙන්නෙ කියලා.ඒත් ඒක සාමන්‍ය   දෙයක් කියලා දැන් මම දන්නවා.පාසල් ප්‍රේමය අහිමි වීමත් සමග මට එම හැගිම වෙනත් කෙනෙකු හා ඇතිවන්නේ නැත.ඉන්පසුව සම්බන්දතා තිබුනත් ඒ මුලින් තිබුන හැගීම දැනිලා නෑ වෙන කෙනෙක්ට.ස්වයන් වින්දනයේද මා විටක යෙදේ...එහෙත් යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් කරද නැත.නමුත් එහිදී මා ලින්ගිකව තෘප්තියක් ලැබුවද ස්‍රාවයක් පිට නොවේ.එය මා බිය විම නිසාවෙන් පාලනය වී ඇතැයි කියා මට සිතේ...මා දැන් විවාහ වීමට අප්‍රෙක්ශාවෙන් සිටි.ඔහු ගැන ආදරයක් සෙනෙහසක් තිබුනද ඔහු මා සිප ගත්තද මට පාසල් ප්‍රේමයෙන් දැනුනු තරම් හැගීමක් නැත.එවිට හැගීම් උද්දීපනය උවත් පෙර මෙන් ස්‍රාවයක් පිට වන්නේ නැත.එහෙත් යම්තාක් යෝනි ප්‍රදේශය කිසියම් තෙත් ගතියක් දැනෙනවා.නමුත් පාසල් ප්‍රේමයෙ තරම් හැගීමක් නෑ මට.එසේ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිට නොවීම මා හට විවාහ ජීවිතයේදි ගැටලු ඇති කරයිද ඩොක්ටර්??

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

වයස අවුරුදු 16 යනු නවයොවුන් වියෙහි උපරිම අවස්ථාවයි. වැඩිවිය පත් වීමත් සමඟ සිදු වන හෝමෝන වෙනස්කම් හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය වේ. ඔබ සඳහන් කර ඇති ආකාරයට ඔබගේ පළමු ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 16 දිය. එම අවධියේදී එසේ සිදු වීමට හේතු වී ඇත්තේ එය ඔබගේ පළමු අත්දැකීම වීමත්, එම අවධියේ හෝමෝන ක්‍රියාකාරිත්වයත්, බිය හා ආශාව කැටි කොට ගත් හැඟීම් නිසාත් එයට ශරීරය දක්වන ප්‍රතිචාරයක් ලෙස යෝනියෙන් ශ්‍රාවයක් පිටවීමය. ඔබ දක්වා ඇති ආකාරයට ඔබට ගැටලුව වී ඇත්තේ දැන් ලිංගික ශ්‍රාවය පිටවීම අඩු වීමයි. නමුත් ඔබ දක්වා ඇත්තේ සාමාන්‍ය තෙත්ගතියක් පවතින බවයි. ඒ අනුව ඔබට ලිංගික ශ්‍රාවයක් පිට නොවන්නේ යයි පැවසිය නොහැක. ඔබට එලෙස වයස අවුරුදු 16 දී ලිංගික ශ්‍රාවය පිටවීම පළමු වරට සිදු වූ නිසා ඔබට එය වැඩි වශයෙන් පිට වුවා යයි දැනෙන්නට හැකි අතර දැන් ඔබ වයස අවුරුදු 23 ක තරුණියක් වීම නිසාත්, ලිංගික ශ්‍රාවයන් පිටවීම අලුත් අත්දැකීමක් නොවීම නිසාත්, ශ්‍රාවය පිටවීම අඩු යැයි දැනිය හැකිය. අනෙක් කාරණය නම් ස්වයං වින්දනයේදී හෝ ලිංගික සංසර්ගයකදී වුවද කාන්තාවකට පුරුෂයෙකුට ශුක්‍රානු පිටවීම මෙන් ලිංගික ශ්‍රාවයක් පිටවීමක් සිදු නොවේ. යම් ශ්‍රාවයක් පිටවන නමුත් එය පිටවන්නේ ලිංගික සංසර්ගය පහසු කරවීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණයි. ඒ පිළිබඳව කලබලයට පත් විය යුතු නොවේ.
ඔබගේ පළමු ප්‍රේම සම්බන්ධතාවයේ අත්දැකීම් හා වර්තමාන ප්‍රේම සම්බන්ධතාවයේ අත්දැකීම් සැසදීමට යාමෙන් ඔබ අනවශ්‍ය බියක් ඇති කරගන්නවා විය හැකියි. එමනිසා ඒ දේවල් පිළිබඳව නොසිතා ඔබගේ වර්තමාන ප්‍රේම සම්බන්ධතාවයට ප්‍රමුඛත්වය ලබා දෙන්න. ඔබගේ හැඟීම් උද්දීපනය වීමත් සමඟ තෙත්වීමක් සිදු වන බව ඔබ සඳහන් කර තිබෙනවා. එසේ වන්නේ නම් සහ ඔබගේ ඔසප් චක්‍රය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වේ නම් විවාහ ජීවිතය තුළදී ගැටලුවක් ඇති නොවේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Feb 2021 Fri 11:31 AM