ප්‍රශ්න තොරතුරු

මීට වසර 1 1/2 කට පමණ මාගේ සහෝදරියගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳී ගිය අතර එම තරුණයා ඉන්පසු ඇය සමඟ පෙර දී whatsapp video call භාවිතයෙන් ලබා ගත් නිරුවත් ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලයට මුදාහරින බව කියමින් ඇය වෙත තර්ජනාත්මක කෙටි පණිවුඩ සහ දුරකතන ඇමතුම් ලබා ගන්නට විය. මෙම ප්‍රශ්නයෙහි අවසානයක් දැකිය යුතු බැවින් මාගේ සහෝදරිය සියලු විස්තර මා සමඟ පැවසුවාය. මා හට ද තනි ව කළ හැකි දෙයක් නොමැති කමින් මම මේ පිළිබඳ ව මාගේ දෙමාපියන් ද දැනුවත් කළෙමි. එවිට මාගේ දෙමාපියන් ඔහුගේ දෙමාපියන්ටද මේ බව දැනුම් දුන් අතර ඉන්පසු එම තර්ජන අවසන් වූ අතර දැනට වසරක පමණ කලක සිට අපි නිදහසේ ජීවත් වුණෙමු. නමුත් ඒ අඳුරු අතීත සිදුවීම තවමත් අපගේ ජීවිත තුළ හොල්මන් කරයි. සහෝදරියගේ ගැටලුවක් වුවද මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමෙහිලා ඍජුව නිරාවරණය වූ අයෙකු බැවින් ඉන් අනතුරුව මා ද විශාදය සහ ග්‍රස්ථිය (OCD) යන මානසික රෝග තත්ත්ව වලින් පීඩා විඳි අතර මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්ත ද සුවයක් නොමැත. අප තවමත් සහෝදරියගේ ජංගම දුරකතනයට පැමිණෙන   unknown messages & calls වලට බියක් දක්වයි. තව ද සමාජ මාධ්‍ය භාවිතයට ද දැඩි බියක් දක්වයි. අප හැකිතාක් සමාජයෙන් හුදෙකලා වීමට බොහෝ සේ ප්‍රිය කරයි.  unknown numbers වලින් calls & messages පැමිණි විට මා සහ ඇය අධික ලෙස බියට පත් වෙයි.එවිට මාගේ මුළු ශරීරය ම සීතල වී හෘද ස්පන්දන වේගයද ඉතා ඉහළ යන අතර ක්ෂණිකව උග්‍ර ගැස්ට්‍රයිටිස් තත්ත්වය ක් ද හට ගනියි. ඉන්පසු මා හැඬීමට පටන් ගනියි. මෙසේ බොහෝ කලක් ගිය පසුත් එවැනි  calls & messages වලට බිය විය යුතුද? එසේ බිය නොවී සිටීමට සහ ශක්තිමත් ගැහැණියක වීමට අප කුමක් කළ යුතුද? අප පෙරදී ගත කළ ඉතා නිදහස් , සැහැල්ලු ජීවිතය මතක් වන විට සිය දිවි නසා ගන්නට පවා සිතුණු වාර ගණන අනන්තය. තවද මම නිවසේ බුදු පහන ට සහ දෙවිවරුන්ට දිනකට සිය වතාවකට වඩා වැඳුම් පිදුම් කරමි. එසේ නොකළහොත් කිසියම් භයානක යමක් සිදු වේ යැයි මාගේ සිත මට පවසයි. මෙය ද  මා හට විශාල හිසරදයකි . තවද අතීතයේ එම ප්‍රශ්නය ඇති වූ කාලයේ මා කළ කී කිසිවක් නැවත කිරීමට බියක් ඇත. කොටින් ම ඒ ඒ දිනවල මා හැඳ පැළඳ සිටි ඇඳුම් ආයිත්තම් පවා ඒවා නැවත ඇන්ඳහොත් නැවතත් එම ප්‍රශ්නය ඇති වේය යන බිය නිසා ඇඳීමට පැළඳීමට ද බිය වෙමි. මෙම දැවෙන ප්‍රශ්නය ට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. #ස්තූතියි.

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

වසරකට පෙර ඔබගේ සහෝදරියගේ පෙම්වතා ඇයගේ නිරුවත්, ඡායරුප හා වීඩියෝපට අන්තර්ජාලයට මුදාහරින බව පවසා තර්ජනය කිරීමෙන් අනතුරුව ඒ සිදුවීම සම්බන්ධයෙන් ඇති වූ කම්පනය නිසා දැනටත් ඔබ දෙදෙනා අධික බියකින් පසුවන බව පෙනෙනවා. වර්තමානයේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා ආයතන බොහෝ තිබේ.

මෙවැනි සිදුවීමක් සිදු වුණහොත් ඒ බව ඔප්පු කිරීම සඳහා කෙටි පණිවිඩ වල තිර දර්ශන (Screenshots) වැනි සාක්ෂි එකතු කළ යුතුය. ප්‍රකාශිත ද්‍රව්‍ය වල ඩිජිටල් හෝ කඩදාසි මුද්‍රිත පිටපත් හෝ අසභ්‍ය හඬ පණිවිඩ / ඇමතුම් පටිගත කිරීම සිදු කළ හැකිය. යමෙකු ඒ ආකාරයට ඔබට හෝ ඔබ දන්නා හඳුනන කෙනෙකුට තර්ජනය කරන්නේ නම් ඔබට ආසන්නම පොලිස් ස්ථානයට ගොස් එම සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. ළගම පොලිස් ස්ථානයෙන් ඔබට සාධාරණයක් ඉටු නොවන්නේ යැයි හැඟෙ නම් ඔබට ඕනෑම පොලිස් ස්ථානයක වුවද පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. කොළඹ අපරාද විමර්ශන අංශයට පැමිණිලි කළ හැකියි. එහි උපකාරක සේවා දුරකථන අංකය 0112 444 480. ඔබේ පැමිණිල්ල ඔබට කාන්තා පොලිස් නිලධාරිනියකටම පැවසීමට අවශ්‍ය නම් ඔබට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ හැකිය. එහි අංකය නම්, 0112 444 444. එමෙන්ම සයිබර් ආරක්ෂාව පිළිබඳව ජාතික මධ්‍යස්ථානයේ පරිගණක කණ්ඩායම (CERT) ද සයිබර් හිරිහැර කිරීම් හා සම්බන්ධ කරුණු විමර්ශනය කරයි. එහි අංකය නම්, 0112 691 692. එමෙන්ම ඔබට report@cert.gov.lk විද්‍යුත් තැපෑලෙන් පැමිණිලි කළ හැකියි. එමෙන්ම ඔබට 0114 216 062 අංකයෙන් හිතවති ආයතනය අමතා ඔබගේ ගැටලුව ඉදිරිපත් කළ හැකිය. මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පීඩා විඳින පුද්ගලයෙකුට සිවිල් උසාවියකදී වන්දි ඉල්ලා සිටිය හැකිය. එසේම වරද සිදු කරන පුද්ගලයා එසේ කරන්නේ රජයේ නිලධාරී තනතුරක බලය යොදාගෙන නම්, ඔහුගේ / ඇයගේ හිරිහැර කිරීමේ හැසිරීම අගතියට පත් පුද්ගලයාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය. ඒ සම්බන්ධයෙන් ද පියවර ගත හැකිය. මෙවැනි ආයතන රාශියක් ඔබේ සහයට සිටින නිසා නාඳුනන දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ඔබ බිය විය යුතු නොවේ. එවැනි ඇමතුමක් පැමිණිය හොත් එයට ප්‍රතිචාර නොදක්වා අවහිර කිරීම ඔබට ගත හැකි කෙටිකාලීනම පියවරයි.

ඔබ පවසා ඇති ලක්ෂණ වලට අනුව ඔබට සියදිවි නසාගැනීමට සිතීමත්, නිතර බුදු පහන හෝ දෙවියන්ට වැඳීමට සිතෙන නිසාත්, එම කාලවකවානුවේ ඇඳි ඇඳුම් ඇඳීම මඟින් නැවත එවැනි දෙයක් සිදු වෙතැයි බියෙන් පසුවන නිසාත් ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගැනීම ඉතාම සුදුසු වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Feb 2021 Thu 7:17 AM