ප්‍රශ්න තොරතුරු

නිර්නාමිකව ඉදිරිපත් කරන්න.මං අවුරුදු තුනක විතර පුංචි කාලෙ මගේම අයියා මට කරදර කලා.මාව අපයෝජනය කලා.මං ඒ දවස් වල පුංචි.මට හරි තේරුමක් නෑ ඒ ගැන.ඒත් මට ඒක වැරැද්දක් කියලා තේරුනාම මං ඒ ගැන අම්මලට කිව්වා.අම්මල අයියට දඬුවම් කලා.එදයින් පස්සෙ කාටවත් ඒ සිද්ධිය මතකවත් නෑ.ඒත් අදටත් මට ඒ දේ අමතක කරන්න බෑ.දවසට එක පාරක් හරි මතක් වෙනවා.ළඟක ඉඳල හැම නිතරම ඒක මතක් වෙනවා.හරි පිළිකුලක් දැනෙනව මිනිස්සු ගැන.මට මං ගැනම කලකිරිල ඉන්නෙ.ජීවිතේට මොකක් හරි කර ගන්න හිතෙනවා.කියන්න කෞරුත් නෑ මට.අනික කටක් ඇරල මනුස්සයෙක්ට කියන්නෙ කොහොමද මං.වෙලාවකට හැමදේම අත ඇරල ගිහින් මහණ වෙන්න හිතෙනවා.මට මේක ලොකු මානසික වදයක්.කොහොමද මං ඒ මතකය අමතක කරන්නෙ.මට උදව් කරන්න🙏🙏

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

පසුගිය සිදුවීම් සමග ඔබ ලොකු දුකකට වේදනාවකට මුහුණ දී සිටින බව පෙනෙනවා. අපට මේ ජිවිතයේදී විවිධ සිදුවීම් වලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ හැම සිදුවීමක්ම අපට සතුට ගෙන දෙන සිදුවිම්ම නෙමෙයි. සමහර සිදුවීම් අපට දුකක් ඇති කරවනවා. ඒක සමාන්‍යයි. නමුත් අපි ඒ සිදුවීමේ ම ගැලී දුකින් ජීවිතය ගත කරන්නේ නම් එය සාමාන්‍ය නොවේ. අප ඔනෑම කෙනෙකුට මතකයන් තිබෙනවා. ඒ මතකයන් අපිට සම්පුර්ණයෙන්ම අමතක කල නොහැකියි. කල හැක්කේ එම මතකයන්ට අතීතයක් ලෙස ඉන්නට ඉඩ දී අප අපගේ අනාගතය නිර්මාණය කරගැනීමයි.

මතකයන් වර්තමානයට කැදවා ගැනීම නිසා ලොකු දුකකට මුහුණ දීමට සිදු වෙනවා. එම නිසා සිදුවීම් පිලිබදව ඇති මානසික බැඳීම ඉවත් කරගැනීම මගින් එයින් අත් මිදිය හැකිය. ඒ සදහා ඔබට ඔබ කැමති ක්ෂේත්‍රයක පාඨමාලාවක් හැදෑරීමට හෝ රැකියාවක් කිරීමට හැකිය. එමෙන්ම මිතුරන් ආශ්‍රයට යොමු වීම මගින් ඔබට මානසික සැහැල්ලුවක් අත් විදිය හැකිය. ඔබට පැරණි මතක සිහිවන්නේ ඔබ නිවසටම වී කටයුතු කිරීම නිසයි. නිවසේ පරිසරයෙන් බැහැරව සමාජයට යාමේදී ඔබට මතක සිහිකරමින් සිටීමට කාල වෙලාවක් නැති වී යාම නිසා දුකක් ද නොදැනේ. ඔබ පසුගිය අතීතය පිළිබදවම සිතීමෙන් වැළකී ඉදිරි අනාගතය සාර්ථක කරගැනීම සදහා රැකියාවක් සොයාගැනීම සදහා උනන්දු වීම වඩාත් වැදගත් වේ. අතීතයේ මුහුණ දුන් සිදුවීම හේතුවෙන් ජිවිතයෙන් පලා යාම ගැටලුවට විසඳුමක් නොවේ. එයින් සිදු වන්නේ ඔබ ඔබටම දඬුවක් කරගැනීමකි. වෙනත් අයෙකු කළ දෙයක් නිසා ඔබ දඬුවම් විදිය යුතු නොවේ. සැබවින්ම එය ඔබේ වරදින් සිදු වූවක් නොවන නිසා ඔබ අනාගතයට මුහුණ දීමට බිය විය යුතුද නොවේ. ඔබට දිගින් දිගටම එම සිදුවීම මතක් වන්නේ නම් ඔබ මනෝ උපදේශනයට යොමු වීම වඩාත් සුදුසු වේ.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Feb 2021 Thu 12:09 AM