ප්‍රශ්න තොරතුරු

මම මංගල යෝජනාවක් අනුව විවාහ වී සැමියාගේ නිවසේ ඔහුගේ දෙමව්පියන් සමග පදිංචිවී සිටිමි. සැමියාගේ මව ඔවුන්ගේ පුතා උදුරගත්තා යැයි කියමින් සහ මම ඇයගේ ආධිපත්‍යය පිලිනොගැනීමේ හේතුවෙන් මා කෙරේ කෝපයෙන් සිටින අතර කිහිප අවශ්තාවකදී මා වෙත අපහාස කරමින් සැමියා ඉදිරිපිට බැන වැදී ඇත..එහිදී හැම විටම සැමියා මුනිවත රකිමින් සිටින් ලදී..සැමියා මා සමග දෙමව්පියන් කියන දේ අසමින් නිතර රන්ඩු වෙයි.ඔහු රන්ඩු වෙන විට ඔහුගේ මවත් පියත් ඔහු සමග මට බනින අවස්තා තිබුනි..තිදෙනෙක් සමග වාද කරන්න බැරි නිසා මම නිහඩ වූයෙමි..ඔවුන් මට මාගේ දෙමව්පියන් බැලීමට යාමට ඉඩ නොදේ..යනවානම් සැමියාගෙ දෙමව්පියන් සමග යා යුතුයි..විවාහ වී වසර එකහමාරක් වුවත් එකම දිනක් වත් ඔහු හා තනියම මගේ දෙමව්පියන් බැලීමට ගොස් නැති අතර හනිමුන් එකෙන් පසුව කිසිම ගමනක් සැමියා සමග යාමට හැකිවී නැත...සැමියා සියලු දේ කරන්නේ තම මවගේ අභිමතය පරිදි වේ.. මේ වන විට මා විශාදය තත්වයේ පසු වේ..මා හොද අධයාපනික පසුබිමක් සහිතව හොද රැකියාවක්ද නියැලෙන්නෙක්මි...මට මේ නිවසින් යාමට අවශ්‍ය බව කී විට ඔහු මට ආදරේ බව කියමින් මාව නතර කර ගනි..නමුත් මගේ පවුලේ අය දමා මෙහි පැමින සිටින්නේ මගේ සැමියා කෙරේ විශ්වාසයෙන් වුවත් ඔහු කෙරේ මගේ විශ්වාසයක් නොමැත..මට ඔහුගෙන් වෙන් වීමට අවශ්‍යයි.නමුත් හිත හදා ගත නොහැක..කරුනාකර මට පිහිට වෙන්න..

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ ජිවිතයේ තීරණාත්මක අවධියකට මුහුණ පා සිටින බව පෙනේ. මංගල යෝජනාවකට අනුව විවාහ වී සැමියාගේ නිවසට පැමිණියද සැමියාගේ මව ඔබට සලකන ආකාරයත්, සැමියා එම අවස්ථාවලදී නිහඬව සිටින ආකාරයත්, දෙමව්පියන් පවසන දේ අසා ඔහු ඔබට බැනවදින ආකාරයත්, ඔහුත් සමඟ ඔබට නිදහස් ජිවිතයක් ගත කිරීමට නොහැකි වීමත් නිසා ඔබ ව්‍යාකුලත්වයකට මුහුණ පා සිටියි. මෙම ගැටළු හේතුවෙන් ඔබට ඔහුගෙන් වෙන්වීමට අවශ්‍ය වුවත්, එසේ වෙන්වීමට හිත හදාගත නොහැකි වීමත් නිසා මේ වනවිට ඔබ තීරණයක් ගත නොහැකි තත්ත්වයකට මුහුණ පා සිටින බවත් පෙනී යයි.
විවාහ ජිවිතයක් යනු අඹු සැමියන් දෙදෙනා තම ජීවිතය පිළිබඳව අවබෝධයෙන් යන ගමනකි. ඔවුන් දෙදෙනාගේ ජීවිතය පිළිබඳව තීරණ ගත යුත්තේ ඔවුන් දෙදෙනාම මිස බාහිර පාර්ශවයක් නොවේ. කුඩා කල සිට දෙමාපියන් ඇසුරේම හැදී වැඩුණු පසු දෙමාපියන් කෙරේ දැඩි ආදරයක් පැවතීම සාමාන්‍යයි. නමුත් විවාහ වූ පසු හිමිවන වගකීම් සමඟින් තම සැමියාට/ බිරිඳට ප්‍රමුඛත්වයක් ලබා දීමත්, ඒ අතරම දෙමාපියන්ට සැලකීමත් සිදු කළ යුතුයි. මෙම සියලු භූමිකාවන් පටලවා ගත් විට පවුල් ජිවිතයේ ගැටළු ඇති විය හැකිය. ඔබේ සැමියාද මුහුණ පා ඇත්තේ මෙවැනි තත්ත්වයකට විය හැකිය. ඔබ ඔහුත් සමඟින් සාකච්ඡා කොට ඔහුට මෙම තත්ත්වය පැහැදිලි කරදීමට උත්සහ කිරීම වැදගත් වේ. එහිදී එම සාකච්ඡාව ගැටුමක් බවට පත් කර නොගෙන ආදරණිය සාකච්ඡාවක් බවට පත් කරගැනීමට උත්සාහවත් වීම ද වැදගත් වේ. එවිට ඔහු ඔබ පවසන දේ තේරුම්ගැනීමේ හැකියාවක් පවතියි. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඔහුව සම්පුර්ණයෙන්ම දෙමාපියන්ගෙන් ඈත් කිරීම උචිත නොවේ. ඔහු දැනට සිටින තත්ත්වය අනුව එමඟින් ඔහුට ඔබ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති විය හැකිය. එම නිසා කළ යුත්තේ දෙමාපියන්ට සලකන අතරම ඔබ දෙදෙනා අතර දැඩි මානසික බැඳීමක් ඇති කරගැනීමයි. ඔබ දෙදෙනා වෙනම නිවසක පදිංචියට යාමෙන් මෙම ගැටලුවෙන් බොහෝ ප්‍රමාණයක් විසඳා ගත හැකිය. ඔබ දෙදෙනා ඔහුගේ දෙමව්පියන් සමඟම ජිවත් වීමෙන් සිදු වන්නේ තව තවත් මෙම ගැටුම වර්ධනය වීමයි. ඔබ දෙදෙනා වෙනම නිවසක ජිවත් වීමේදී ඔබ දෙදෙනාගේ ජීවිතය සම්බන්ධයෙන් උපදෙස් දීමට කිසිවෙකු නොමැති වීම නිසා ඔබ දෙදෙනාට ස්වාධින තීරණ ගැනීමේ හැකියාව ලැබීමට අමතරව එමගින් ඔබ දෙදෙනාගේ බැඳීම ද ශක්තිමත් වේ.
ඔහු මෙම තීරණ සම්බන්ධයෙන් ඔබත් සමඟ එකඟතාවය පළ නොකරන්නේ නම් ඔබ දෙදෙනාම මනෝ උපදේශනයට යොමු වීම වඩාත් සුදුසු වේ. එවිට උපදේශකවරයා ඔහුට තත්ත්වය පහදා දී ඔබ දෙදෙනාගේ ගැටුම සමතයකට පත් කරගැනීමට උපකාර කරනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 Mar 2021 Sun 4:31 PM