ප්‍රශ්න තොරතුරු

මම රැකියාවක් කරන කාන්තාවක්.මගේ දූවට අවුරුදු 2යි මාසයක් වෙන්නෙ.මගේ දෝනි දැන් කෑම කන්නෙම නෑ.එයා අඩු බර උපත් දරුවෙක්.මගේ අම්මා තමයි එයාව බලාගන්නෙ.දොනි හැමදාම උදේට අඩනවා අනේ ඔයා යන්නෙපා මට දුකයි කියලා.මං හබුන් කන්නෙම නෑ කියලා ඒ වගේම එයාට අම්මා කවාගන්නෙ ගොඩක් අමාරුවෙන්.ඉස්සර මාත් එක්ක කෑවා.දැන් ඒකත් අමාරුයි.රෑට නිදන්න ගියාම දෝනි මගේ මහත්තයට මගේ පැත්ත හැරෙන්නවත් දෙන්නෙ නෑ.රෝස මල මගේ කියලා මගේ ඇග උඩ නිදන්නෙ.මට තේරෙන්නෙ නෑ කෙල්ලට කවාගන්නෙ කොහොමද කියාලා.මට හිතෙන විදියට එයා මට අසීමිතව ආදරෙයි.මං යන නිසා වේදනාවෙන් ඉන්නෙ.මට රැකියාවෙන් ඉවත් වෙන්න බෑ.මහත්තයාගෙ අම්මා තාත්තත් අසනීපෙන්.එයාලත් ඉන්නෙ මං එක්ක.මට තේරෙන්නෙ නෑ මොකද්ද කරන්‍න ඕනි කියලා

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ දරුවා මෙවන් හැසිරීමක් පෙන්වීමට කිසියම් හේතුවක් තිබිය හැකියි. ඇයගේ මෙම හැසිරීම ලඟදි සිට ඇති වූවක්ද? ඉන් පෙර සිටම පැවතී තිබේද? ඔබ සඳහන් කර ඇත්තේ දරුවාගේ මෙම හැසිරීමට ඔබට ඇති අසීමිත ආදරය හේතු විය හැකි බවයි. නමුත් මෙයට ඔබ සඳහන් කළ හේතුවෙන් ඔබ්බට ගිය වෙනත් හේතුන්ද තිබිය හැකිය. ඇයට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙන්නේ ඔබ ළඟ පමණක් විය හැකියි. වෙනත් අය ළඟ ආරක්ෂාකාරී හැඟීමක් සහ ඔවුන් පිළිබඳව ඇල්මක් නොදැනීමට හේතුව සොයා බැලීම වැදගත් වේ. ඒ සඳහා ඇයගේ හැසිරීම වඩාත් හොඳින් නිරීක්ෂණය කර බලන්න. ඇය අඳින චිත්‍ර වැනි දේ නිරීක්ෂණය කර බැලීමෙන් මෙසේ හැසිරීමට ඇයගේ මනස තුළ ඇති ගැටලුකාරී ස්වභාවය වටහා ගත හැකි වනු ඇත.
රාත්‍රියේ නින්දට යාමේදී දරුවා, පියාට ඔබේ දෙසටවත් හැරීමට ඉඩ නොදෙන බව සඳහන් කර තිබෙනවා. දරුවා හා පියා අතර ඇති සම්බන්ධතාවය කෙබඳුද? ඇය නිතරම පියාව ප්‍රතික්ෂේප කරන්නේද? දරුවාගේ මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා පහත දේ අනුගමනය කළ හැකිය.
* දරුවාට සමීප සෑම අයෙකුම දරුවාට ආරක්‍ෂිත හැඟීමක් ඇති වන පරිදි කටයුතු කරන්න.
* ආහාර ලබා දීමේදී විවිධත්වයෙන් යුතු ආහාර ලබා දෙන්න.
* දරුවාට කැවීමේදී කතන්දර කියමින්, සෙල්ලම් කරමින් වැනි විවිධ ක්‍රමවේද අනුගමනය කරන්න.
* දරුවාටම තනිවම ආහාර ගැනීමට ලබා දෙන්න.
* දරුවා හොඳින් ආහාර ගත හොත් සතියට සැරයක් ඇයට යම් කිසි ත්‍යාගයක් (ඇය කැමතිම දෙයක්) ලබා දෙන්න.
උදා : ඇය කැමතිම කෑමක් ලබා දීම, ඇය කැමති ස්ථානයකට රැගෙන යාම, ඇය කැමතිම සෙල්ලම් බඩුවක් ලබා දීම


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 17 Mar 2021 Wed 2:21 PM