ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් මම වයස අවුරුදු 17ක තවමත් පාසල් යන උසස් පෙල විද්‍ය විශය ධාරාවෙන් හදාරන ශිෂ්‍යයාවක්. මම එලෙස සදහන් කලේ මා සිටින තත්වය වටහා ගැනීමට ඔබට පහසු වේ යයි සිතා. මගේ ජීවිතයේ මට හිතට වද දෙන ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා මම ඒව එකින් එක අංකනය කරමින් පහලින් සදහන් කරන්නම්. ඔබ තුමිට/තුමාට හැකි නම් මට ඒ සියල්ලට පැහැදිලිව විසදුම් හෝ විසදුම් ලබා ගත හැකි ක්‍රම සදහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ප්‍රශ්නය තරමක් දික් විය හැක නමුත් කියවා ඉක්මනින් පිලිතුරු ලබා දේ යැයි සිතමි. මට මෙම ප්‍රශ්න ඉතාමත් සිතට කරදරකාරීය. 01. ඩොක්ටර් මගේ හිතට මට වැඩියෙන්ම කරදර කරන ප්‍රශ්නයක් තමයි මගේ පෙර වසර කිහිපයක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාව. ඇත්තෙන්ම එය ආරම්භ වූයේ මාගේ සිත මුල් කරගෙනය. මුලදී මා හට දැනුනු ආකරයට ඔහු මට අසීමිතව ප්‍රේම කලා. නමුත් මාස කිහිපයකට පසු ඔහු වෙනත් මාගේම මිතුරියක් සමග ආදර සම්බන්ධතාවයක් ආරම්භ කලා එය මා හට මහත් සේ වෙදනාකාරී අත්දැකීමක් වූවා නමුත් නැවත වසරකට පසු ඔහුම මා වෙත යලිත් පැමිණියා. ඔහු බොහෝ ප්‍රසන්න ලස්සන මාගේම වයසේ පසුවන්නෙක්. මා එතරම්ම හැඩකාර නොවන සමාන්‍ය කෙනෙක්. අපි ජීවත් වන්නේද එකම ප්‍රදේශයකය. තවද ඔහු මා හට ලගින් නෑදෑ අයෙකුද වනවා. ඔහු මා වෙත යලිත් පැමිණියද සිටියේ පෙර සිටි ඔහු නොවේ. ඔහු අධික ලෙස මත් පැන් අයිස් , සිගරට් වැනි මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියා. පසුව මාගේ ඇවෑමෙන් ඔහුගෙ දෙමාපියන්ද මැදිහත් වී ඔහුව එයින් මුදා ගත්තද ඔහු අදික ලෙස රාගයට ලොල් වූ අයෙක් බවට පත්ව සිටියා. ඔහු ඇතැම් අවස්තාවල පවසා තියෙනව ඔයා මට මේ දේ දුන්නොත් මන් හොද කෙනෙක් වෙනව කියලා. සමහර අවස්තාවල මා ඔහු සමග එලෙස හැසිරිලා ද තිබෙනවා. ඇත්තෙන්ම මාද පසුව රාගයට දැඩි සේ ප්‍රිය කරන චරිතයක් බවට අනුවර්තනය විය. ඔහුත් සමග මා ඉතාමත් වැරදි ලෙස හැසිරී තිබෙනවා. ටික කලකට පසු අපේ සම්බන්ධ අපේ ගෙදරින් දැන ගන්නවා. ඉන්පසු දෙමාපියන්ගේ දැඩි බලපෑම මත මම ඔහුගෙන් වෙන් වෙන්වා. නමුත් ටික කලකින් නැවත අපේ සම්බන්ධය පටන් ගත්තා. නමුත් එහිදීද ඔහූ මගෙන් ආදරයට වඩා ලිංගික ඇසුරට ප්‍රිය කලා. මාද එයට අධික ලෙස ප්‍රිය කලා. ඇත්තෙන්ම ඔහු අතින් මාගේ කන්‍යා පටලයද බිදී ගියා නමුත් ඒ ගැන අපගේ නිවෙස් වලින් දන්නේ නැත. දැන් අපගේ ප්‍රේම සම්බන්ධය නැත. ඒ ඔහුගේ අභිමතය පරිදිය. නමුත් මට ඔහුව අවශ්‍යයි. මට මගේ හිත නැවත හදා ගන්න බැහැ ඔහුවමයි මතකයට නැගෙන්නේ ඔහුත් සමග විදපු ඒ අත්දැකීම් මතකයට එන්නෙ මම මේ දේවල් හිති අයින් කරගන්න කල යුත්තේ කුමක් ද? 02. මම නිරන්තරයෙන්ම කුඩා කුඩා දේවල් සදහාත් අධික ලෙස කෝපයට පත් වෙනවා. ඇත්තෙන්ම පවසනව නම් මගේ මව සමග මම කෝපය ගන්න විට මට ඇයව මැරීමට පවා සිතී තිබෙනවා. මම මේ සියල්ල අව්‍යාජව පවසන්නෙ මට නිසි උපකාර අවශ්‍ය නිසයි. තවත් අවස්තාවල මට සියදිවි හානි කරගැනීමට පවා සිතෙන අතර මම ඒ සදහා උත්සහ කරද තිබෙනවා. මම බොහෝ විට මගේ කාමරයේ තිබෙන බඩු දුරකතන පවා පොලොවේ ගසමින් තරහ පිට කරගන්න අවස්තා ඇත. ඇත්තෙන්ම මට බොහෝ විට සිතෙන්නේ කවුරුන් හෝ මැරීමටයි මට මේ ගැන අදික ලෙස බයයි ඒ මගේ අම්මා පවුලේ අයට මගෙන් කරදරයක් වෙයි කියලා. තව ද ඇතැම් අවස්තාවල මම අධික ලෙස දුකට ඇඩීමට පත් වනවා. මට ඇත්තෙන්ම ජීවිතේ එපා වෙල ඉන්නේ. මොකද්ද මට මේ වෙල තියෙන්නෙ කියල මට දැන ගන්න පුලුවන්ද? 03. මම අධික ලෙස ස්වයං වින්දනයටත් හුරු වී සිටිනවා. තවද අන්තර්ජාලයෙන් අධික ලෙස අසභ්‍ය වීඩියෝ පට නරබනවා. මම මෙය නැවැත්වීමට උත්සහ කලත් මට එය කල නොහැකි. මෙය මගේ අධ්‍යාපන කටයුතු වලට ඉමහත් සේ බලපෑම් කරනවා. ඇතැම් අවස්තාවල දී හැගෙනවා කාත් අගම හෝ ලින්ගික ක්‍රියාකරකම් වල යෙදෙන්න. මට මෙය නවත්තගන්න ඕන අසභ්‍ය වීඩියෝ පට නොබැල සිටීමට උත්සහ කලද එය මා හට කල නොහැකි මා මේ සදහා කල යුත්තේ කුමක් ද? 04. මොන ප්‍රශ්නේ තිබුනත් මට අවශ්‍ය උසස් පෙලින් ලංකාවේ පලවෙනි 10 දෙනාට කෙසේ හෝ පැමිණෙන්න එය මාගේ කුඩා කල සිට තිබූ සිහිනයක්. ඇත්තෙන්ම පෙරදී සිදු වූ දේවල් සමග මගේ සාමන්‍ය පෙලට මට හොදින් මුහුන දීමට නොහැකි වුණා. ඒ නිස මට බයයි මම මේ දැනුත් හැසිරෙන විදියට මට මගේ හීනයට යන්න බැරි වෙයිද කියලා. මම මේ සදහා කුමක් ද කල යුත්තේ? ඉහතින් සදහන් කලේ මට හැගෙන දැනෙන සියලුම දේවල් ය. මට ඇතැම් විට සිතෙනවා මෙය මානසික රෝගයක් ද කියලා ඒ මට බොහෝ වෙලාවට කීමට කිරීමට අවශ්‍ය දේ ඔලුවට එන්නෙ නැති නිසා. මෙය මානසික රෝගයක් නම් කුමන ප්‍රභේදයක් ද මේ. ඔබට හැකි නම් මම යොමු කල ප්‍රශ්න වලට පැහැදිලිව හැකි ඉක්මනින් පිලිතුරු යොමු කරනවද මොකද මට දැන් මේ තත්වය දරා ගත නොහැකි තවද අධික ලෙස හිසේ කැක්කුමක් සහා ශරීරයේ වම් කොටසේ යම් වේදනාවක් දැනෙනව ඇතැම් විට පන්තියක ගිහින් එයට සිත යොමු කර ගත නොහැකි තරම් වේදනාවක් දැනෙනවා. බර යමක් බොහෝ වෙලාවක් වම් අතින් අල්ල සිටීමටද අපහසුයි. හිසේ සිට පාදය දක්වා මෙම වේදනාව දිවෙනව. මෙ තත්වය කුමක් ද එක් රෝගයක් ද රෝගී තත්ව කිහිපයක් ද අනේ හැකි ඉක්මනින් පිලිතුරු සපයන්න පුලුවන් නම් එය මට ඉතාමත් වටිනවා. ස්තුතියි මෙම ලිපිය කියවා මට සහය දක්වන ඔබ සැමට.

               

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳී යාමත්, එහි මතකයන් නිතර සිහිපත් වීමත්, පෙර ලැබූ අත්දැකීම් සමඟ ලිංගික ආශාවන් වැඩිවීමත් හේතුවෙන් ඔබගේ එදිනෙදා කටයුතු අඩාල වීම නිසා ඔබ පීඩනයට පත් ව සිටින බව දැනෙනවා. නවයොවුන් විය යනු වයස අවුරුදු 11ත් 18ත් අතර කාලයයි. මෙම කාලයේදී හෝමෝන ක්‍රියාකාරිත්වයේ සීඝ්‍ර වර්ධනයක් සිදු වන අතර ද්විතික ලිංගික ලක්ෂණ ඇති වීමත්, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි ආකර්ශනයක් ඇති වීමත් සිදු වේ. ඔබ ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කොට ඇත්තේ ද මෙම වයස් සීමාව තුළදී වීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වයත් සමඟ ලිංගිකත්වය පිළිබඳව කුතුහලයක් හේතුවෙන් ලිංගික ක්‍රියා කෙරෙහි දැඩි නැඹුරුතාවයක් දැක්වීමත් ඇති විය හැකිය. ඔබ ඔබගේ සම්බන්ධතාවයේදී දීර්ගකාලීනව පෙම්වතා සමඟින් ලිංගික ක්‍රියාකාරකම් පැවැත්වීම නිසා එයින් ලැබූ ආශ්වාදයට ලොල් වීමක් මේ දක්වාම පැවතීම හේතුවෙන් අසභ්‍ය වීඩියෝ නැරඹීමට හා අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීමට පෙළඹී තිබෙන බව පෙනේ. ඒ හේතුවෙන් ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු මඟහැරී ඇත.
ප්‍රේම සම්බන්ධතාවය නැති වීමෙන් ඇති වූ දුකත්, ලිංගික හැඟීම් තෘප්තිමත් කර ගැනීමට නොහැකි වීමත්, ඔබේ කන්‍යාභාවය නැතිවීමත්, ඔබට උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය වුවත් ඒ සදහා ඉහත සඳහන් කරන ලද තත්ත්වයෙන් බාධකයක්ව පැවතීමත්, මවගේ අවවාද නොරිස්සීමත්, සමඟ ඔබ විශාදිමය තත්ත්වයට පත්ව සිටින බව පෙනෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට අධික ලෙස තරහ යාමත්, විශේෂයෙන්ම මව සමඟ අධික කෝපයක් දැනීමත් ඇති වී තිබේ. මෙම තත්ත්වය සඳහා මනෝවෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි. එසේ කිරීම මඟින් ඔබට මෙම ආතතියෙන් මිඳී සාමාන්‍ය පරිදි ජීවිතය පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. ඔබ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු මෙසේ අංකනය කොට දක්වමි.
1) පෙම්වතා පිළිබඳව මතකය අමතක කිරීම සඳහා,
- ඔහුගේ දුරකථන අංකය අවහිර කරන්න.
- ඔහුගේ ඡයාරූප හෝ වීඩියෝ පට ඇත්නම් එය මකා දමන්න.
- සමාජ මාධ්‍ය වලින් ඔහුව අවහිර කරන්න.
- ඔහුගේ වැරදි පිළිබඳව සිතා ඔහුව අමතක කොට දමන්න.
- ඔහුව මතකයට නැගෙන සෑම වෙලාවකම වෙනත් වැඩක් සඳහා ඔබගේ මනස යොමු කරන්න.
- හුදෙකලා වීමෙන් වැළකී මිතුරන් සමඟ කාලය ගත කිරීමට උත්සහ කරන්න.
2) ඔබට අධික ලෙස තරහක් දැනුන විට එය පාලනය කරගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකියි.
- ඔබට තරහක් දැනුන විට එයට ප්‍රතිචාර නොදක්වා තරහක් ආව බව දකින්න. එහිදී ඔබේ තරහව ඔබ දැකීම නිසා එයින් වන හානියද ඔබට පෙනෙන්නට වීම නිසා ඔබට ඔබේ තරහව පාලනය කරගැනීමට හැකි වේවි.
- තරහක් ආ විට 1 සිට 10 දක්වාත්, නැවත 10 සිට 1 දක්වාත් ගනින්න.
- තරහක් ආ විට අඩු කිරීමේ ක්‍රමවේදයක් භාවිතා කල හැකිය. එය සිදුකරන්නේ මෙපරිද්දෙනි. 100න් 3ක් අඩු කරන්න. ඒ එන උත්තරයෙන් අයිත් 3ක් අඩු කරන්න. ඒ එන උත්තරයෙන් අයිත් 3ක් අඩු කරන්න. මේ විදිහට දිගටම අඩුකරගෙන යාමෙන් ඔබේ තරහව පාලනය වේවි.
- තරහක් ආ විට ඒ පිළිබදවම සිතීමෙන් වැලකි වෙනත් වැඩක නිරතවන්න.
- ඔබට තරහ පාලනය කරගැනීම සදහා ශ්වසන අභ්‍යාස වල නිරත විය හැකිය. එය සිදුකරන්නේ මෙපරිද්දෙනි. උදැසන අවධි වූ පසු ගැබුරින් 10 වරක් හුස්ම ගෙන පිටකරන්න. මෙය දිගින් දිගටම කිරීම මගින් ඔබට දැනෙන ශාරීරික අපහසුතාද පාලනය කරගත හැකිය.
3) අධික ලෙස ස්වයං වින්දනයට යොමු වී සිටීමත්, අසභ්‍ය වීඩියෝ නැරඹීමට පුරුදු වී සිටීමත් පාලනය කරගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.
- අසභ්‍ය වෙබ් අඩවි වලට ඇතුළු වීමට නොහැකි වන පරිදි ඒවා අවහිර කරන්න.
- ජංගම දුරකථන භාවිතය හැකි තාක් සිමා කරන්න.
- රාත්‍රී කාලයට ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කොට එය වඩාත් ඇස නොගැටෙන ස්ථානයක තබන්න. (උදා : සාලයේ, අල්මාරියක හෝ වෙනත් අයෙකු ළඟ තැබීම)
- දහවල් කාලයේ ඇදේ නිකරුණේ කාලය ගත කිරීමෙන් වලකින්න.
- රාත්‍රී කාලයේදී ද නිදිමත දැනුන විට පමණක් ඇදට යන්න.
- හැකි අවස්ථාවන් වලදී නිවසින් පිට කාලය ගත කරන්න.
- ස්වයං වින්දනයෙන් ලබන තෘප්තිය ඔබට වෙනත් ක්‍රියාකාරකම් වලින් ද ලබා ගත හැකියි. (උදා : ඇග වෙහෙසා කරන ක්‍රීඩාවක නිරත වීම)
- දිනපතා ව්‍යායාම් වල නිරත වන්න.
4) ඔබට උසස් පෙල විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.
- අතීතයේ කුමන දෙයක් සිදු වුණද, අනාගතය තමාට වෙනස් කරගත හැකි බව නිතරම සිතන්න.
- ඔබ අධ්‍යාපනයෙන් මුදුන්පත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කය දිනපතා මෙනෙහි කරන්න.
- කාලසටහනකට අනුව පාඩම් වැඩ කටයුතු සිදු කරන්න.
- එදිනෙදා උගන්වන දේවල් එදිනෙදා ම පාඩම් කොට අවසන් කරන්න.
මෙහි සඳහන් කරන ලද දේවල් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා ගමන් සිදු කිරීම මඟින් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකිය. නමුත් ඒ සඳහා යම් සැලකිය යුතු කාලයක් ගත විය හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Mar 2021 Fri 11:57 AM