ප්‍රශ්න තොරතුරු

මා හට වයස අවුරුදු 24 ස්ත්‍රි..නිවසේදී ප්‍රශ්නයක් අති වීමෙන් (මා විවාහ වීමට සිටින පුද්ගලයාගේ උපන් දිනයට මාගේ සහෝදරිය සුබපතා නොමැති විටෙක හා මාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයාගේ උපන් දිනය දවසේදී මා එම හේතුව මුල් කර ගෙන කිසිදු උදව්වක් උපකාරයක් සිදු නොකළ අතර එම රන්ඩුවෙන් පසුව මා හට දඩි නිදිබර ගතියක් සහ අමතක වීමේ ස්වාභාවයක් අති වු අතර මා මෙය මග හරවා ගනීම සදහා රකියාවක් ද සොයා ගත්තා..මා එයින් ද ඉවත් වු අතර (එය නම් මාගේ සියලුම සහතික (orginal) එම රැකියා ස්තානයට බාර දියයුතු වීම නිසා මා එයින් ඉවත් වුනෙමි) උපදෙසක් ලබා දෙන්න වෛද්‍ය තුමනි..

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ සහ සොහොයුරිය අතර ඇති වූ ගැටුම හේතුවෙන් ඔබ පීඩනයට පත්ව සිටින බව පෙනෙනවා. එම ගැටුමට ප්‍රධාන හේතුව ලෙස ඔබ සඳහන් කොට ඇත්තේ ඔබගේ පෙම්වතාගේ උපන්දිනය ඇයට අමතක වීමයි. එය ඇතැම්විට අතපසුවීමක් විය හැකියි. එවැනි දේ සිදු වීම සාමාන්‍යයි. එය ගැටුම් ඇති කරගැනීමට තරම් හේතුවක් නොවේ. සුවිශේෂී දින මතක තබාගැනීමට වඩා වැදගත් වන්නේ ඒ ඒ පුද්ගලයන් එකිනෙකාට දක්වන හිතෛශිභාවයයි. ඔබේ සොහොයුරිය ඔබේ පෙම්වතා සමඟ හොඳින් කටයුතු කරන්නේ නම් එම සුළු අතපසුවීම ඕනෑවට වඩා සිතිය යුත්තක් නොවේ. එම කරුණ මුලික කොටගෙන ඇති කරගත් ගැටුම හේතුවෙන් මේ වනවිට ආතතියට පත්ව ඇත්තේ ඔබයි. උපන්දිනය තිබූ ඔබේ පෙම්වතා හා ඔහුට සුභ නොපැතූ ඔබේ සොහොයුරිය මේ වනවිටත් එම සිදුවීම අමතක කොට තිබිය හැකිය. නමුත් ඔබ තවමත් එම සිදුවිමේම සිටීම නිසා ඔබට, ඔබ සඳහන් කර ඇති රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව පෙනේ. ඔබ එම සිදුවීම අමතක කිරීමට යැයි සිතා රැකියාවකට ගිය බවත් මේ වනවිට එයිනුත් ඉවත්ව සිටින බවත් ඔබ සඳහන් කොට තිබෙනවා. එම සිදුවීමට ඇති මානසික බැඳීම ඉවත් කළවිට එය ඔබට තවදුරටත් ගැටලුවක් ඇති නොකරනු ඇත. ඔබ වයස අවුරුදු 24ක තරුණියක් බව සඳහන් කොට තිබෙනවා. ඔබට ඉදිරි ජීවිතයේදී තවත් බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වේ. එමෙන්ම ඔබට විවිධ බැඳීම් සමඟ කටයුතු කිරීමට ද සිදු වේ. එවැනි අවස්ථා වලදී පුද්ගලයන් අතින් යම් යම් අතපසුවීම් සිදු විය හැකියි. කිසිදු කෙනෙකු සර්ව සම්පුර්ණ නැත. එමෙන්ම අප සිතන ආකාරයටම සෑම අයෙක්ම කටයුතු නොකරයි. එවැනි අවස්ථා විදදරා ගැනීමේ හැකියාව ඔබ ඇති කර ගැනීමෙන් ජීවිතය පහසු වේ. නැතිනම් යමෙකු අතින් සිදුවූ අතපසුවීම් පිළිබඳව දිගින් දිගටම සිතමින් කටයුතු කිරීම නිසා පිඩාවට පත්වන්නට සිදු වන්නේ ද ඔබටමයි. එම නිසා මෙම ගැටුම දිගින් දිගටම ගෙන නොගොස් සොහොයුරිය සමඟ සාකච්ඡා කොට ඇය අතින් සිදු වූ අතපසු වීමට සමාව දීම මඟින් ඔබ සඳහන් කළ රෝග ලක්ෂණද ක්‍රමයෙන් පහව යනු ඇත. අවශ්‍ය නම් ඔබට මේ සඳහා මනෝ උපදේශන සහයද ලබා ගැනීමේ හැකියාව පවතියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 Mar 2021 Wed 8:03 AM