ප්‍රශ්න තොරතුරු

මම අවුරුදු 24ක තරුණයෙක් මගේ මව හා පියා මා කුඩා කාලයේදීම නීතියෙන් වෙන් වී පියා නඩත්තු මුදල් ගෙවමින් සිටියි මා හට සහෝදරයක්ද සිටින අතර ඔහුගේ වයස අවුරුදු 17කි නමුත් ඔහුද යම් මානසික දුර්වලතාවයකින් පෙලෙයි ඒ නම් ඔහුට පාඩම් වැඩ අවබෝද නොවීම ,ඉක්මනින් තරහ යාම , අන් අය සමග එතරම් කතා නොකිරීම වැනි දේයි , මා හට පෙම්වතියක්ද සිටින අතර ඇය මට වඩා මාස 8කින් වැඩිමහල්ය නමුත් එය අපට ගැටලුවක් නොවී අවුරුදු 7ක් අපගෙ සම්බන්ධතාවය රැගෙන ආවෙමු , ඇයටද නිවසේ මව හා පියාගෙ ප්‍රශ්න හා ගමේ මිනිසුන්ගේ ක්‍රියාවන් නිසා මානසිකව පීඩාවට පත්ව සිටින අතර ඇගේ මව හා පියාද මගේ මෙන්ම දෙපැත්තක සිටියි , දැනට මාස 2කට පමණ උඩදී ඇයට එම නිවසේ රැඳී සිටිය නොහැකි බවපවසා ඇය මා සමග මගේ නිවසට පැමිණිය නමුත් ගෙවල් වලින් දැන සිටියේ නැහැ මගේ නිවසට පැමින ඇයගේ මව දැනුවත් කල පසු ඇගේ මව හා පියා පසු දිනම අපේ නිවසට පැමින අප දෙදෙනා විවාහ කර දීමට තීරණය කලා ,ඒ වන විට ඇය විශාද තත්වයකින්ද පසුවන බව ඇය මාහට පෙරදිනයක්දී සඳහන් කලත් මා ඒ ගැන තැකීමක් කලේ නැහැ. නමුත් විවාහ දිනට පෙර දින ඇය ඉතාමත් බයානක අයුරින් අසනීප උනා යම් කෙනෙකු ඇඟට ආරූඩ උනා සේ හැසිරුනා එම නිසා ඇයගේ මව හා පියා පසු දිනම පැමින ඇයව රැගෙන ප්‍රතිකාර කිරීමට රැගෙන ගියා මේ වන විට මාද අසනීප තත්වයකින් පසු වුනා , ඇයගේ මව කියා සිටියේ ඇයගේ විශාද තත්වය උත්සන්න වී ඇති බවත් තවද ඇයට කිසිවෙකු විසින් යම් බන්දනයක්ද කර ඇති බවකි , පෙර දිනයකදී ඇගේ පියා එවැනි දේ සිදු කරන බවටත් ඇය මට පවසා සිටියා, දැන් ඇය මානසිකව ප්‍රතිකාර ලබන අතර තවම ඇයට සුව වී නැහැ මෙම ප්‍රශ්ණ සියල්ලම මගේ ඔලුවට පැමිනි නිසා දැන් මා හටද යම් අපහසුතායක් දැනෙනව සහෝදරයාගේ , මවගේ , පියාගේ , පෙම්වතියගේ , මගේ හැම ප්‍රශ්ණයක්ම මගේ ඔලුවේ හිරවෙලා වගේ දැනෙනව ,මටත් විශාද තත්වයක් ඇති වේදෝ කියා හැගෙනව,විටෙක ශරීරයේ වේදනාවක්ද ඇති වෙනවා . කරුණාකර මට මේ ප්‍රශ්ණයට ඉක්මනින්ක් විසඳුමක් ලබා දෙන්න , මගේ පෙමවතියව සුව කර ගැනීමට සහ , මගේ හිස නිදහස් කර ගැනීමට කල යුත්තේ මොනවාදා, කරුණාකර් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ල්ලා සිටිනවා .

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ පෙම්වතියගේ රෝගී තත්ත්වය, හදිසියේ විවාහය නැවතීම, දෙමාපියන්ගේ සහ සොහොයුරාගේ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඔබ දැඩි ලෙස මානසික පීඩනයට පත්ව ඇති බව පෙනෙනවා. ඔබ සඳහන් කොට ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ඔබේ පෙම්වතිය ඇයගේ නිවසේ සිටිය නොහැකි බව පවසා ඔබේ නිවසට පැමිණ ඇති බවයි. එසේ පැමිණීමට හේතු මොනවාද? ඔබ සඳහන් කර ඇති පරිදි ගමේ මිනිසුන් සිදු කළ ක්‍රියාවන් මොනවාද? විවාහය දින ඇය රෝගී වූ අවස්ථාවේදී ඇය හැසිරුණු ආකාරය කෙසේද? එම අවස්ථාවේදී ඇය හැසිරුණු ආකාරය, ප්‍රකාශ කළ දේවල්, ඇයගේ සිදු වූ වෙනස්කම් මොනවාද යන්න හොඳින් අධ්‍යයනය කොට ඇයගේ රෝගී තත්ත්වය කුමක්ද යන්න නිර්ණය කළ යුතුයි. ඇයට මෙවැනි දෙයක් සිදු වීම සඳහා බලපා ඇති හේතු ලෙස පෙනෙන්නේ ඇය දීර්ඝකාලීනව පවුලේ සහ ගමේ පුද්ගලයන්ගේ හිරිහැර වලට ලක්වෙමින් සිටීමත්, පියා එවැනි ගුරුකමක් කර ඇතැයි යන විශ්වාසයත්, යථාර්ථයට මුහුණ දීමට ඇති අකමැත්තත් යන හේතුන් ය. මෙය මානසිකව ඇතිවන තත්ත්වයක් වන නිසා මනෝ වෛද්‍යවරයෙකු වෙත ඇයව යොමු කොට පරික්ෂා කර බලා නිවැරදි ප්‍රතිකාර සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. මෙම සිදුවීම් හේතුවෙන් ඔබට ඇති වී තිබෙන මානසික ව්‍යාකුලත්වය පාලනය කරගැනීම සඳහා ඔබට මනෝ උපදේශනයට යොමු විය හැකියි. එසේම ඔබට මානසික ආතතිය පාලනය කරගැනීම සදහා ශ්වසන අභ්‍යාස වල නිරත විය හැකිය. එය සිදුකරන්නේ මෙපරිද්දෙනි. උදැසන අවධි වූ පසු ගැබුරින් 10 වරක් හුස්ම ගෙන පිටකරන්න. මෙය දිගින් දිගටම කිරීම මගින් ඔබට දැනෙන ශාරීරික අපහසුතාද පාලනය කරගත හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 Mar 2021 Wed 12:29 PM