ප්‍රශ්න තොරතුරු

මගෙ ලොකු පුතාට අවුරුදු 4යි මාස 3ක් වෙද්දි තමයි එයාගෙ නංගි බබා ආවෙ. දැන් දූ ට මාසයයි. මම පුළුවන් තරම් පුතාගෙ හිත රිද්දන්නෙ නැතිව ඉන්න උත්සාහ කරනවා.මම දූ එක්ක ඉන්න වෙලාවට පුතා ඇවිත් ආදරෙන් නංගී කියලා කකුලෙන් අදිනවා, ඔලුව අත ගානවා. එයාට ආසයි නංගි බබා අල්ලන්න. මම අත් සෝදලා නංගි ලගට එන්න කියලා යවනවා. මමත් අත් හෝදගෙන එනවා එයාට පෙනෙන විදියට. වෙලාවකට පිරිසිදුවට ඇවිත් නංගි ලගට වෙලා ඉන්නවා. අනික් වෙලාවට කොච්චර කිව්වත් ඇහුනෙ නෑ වගේ ඇවිත් චූටි බබා අදිනවා,මිරිකනවා. ඒ වෙලාවට මම සැර කරද්දී  අඩාගෙන අත්තම්මා ලගට යනවා. සිසේරියන් සැත්කම කින් බබා ලැබුණ නිසා තුවාල කැක්කුම තියෙන අතරට ලොකු බබා (බර 18  kg ක් ) වඩාගෙන ඉන්නත් හොද නෑ. ඒත් එයාට ගොඩක් දුක හිතුන දෙතුන් වතාවක්ම මම එයා උස්සගෙන ආවා. මම කොහොමද එයාව සතුටින් තියන්නේ. පෙර පාසලෙන් දෙන ගෙදර වැඩ කරන්නෙත් නෑ. කොච්චර ආදරෙන් කියල දුන්නත් කරන්නෙම නැති නිසා මට ඒවටත් කේන්ති යනවා. මට දැනෙනවා මම නිතරම ලොකු බබා එක්ක තරහ අරන් ඉන්න බවක්. වෙලාවකට  මහත්තයාටත් බනිනවා. මට මානසික රෝගයක් ඇති බවට නිතර සිතෙන අතර වෛද්‍ය වරයෙක් කරා යා යුතු තත්වයක් ද යන්න පිළිබඳ අදහසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. එසේම, මගෙ ඉහත සදහන් කළ නොරුස්නා ගතිය දෙවනි බබා ලැබෙන්න සිටි මුල් කාලයේ සිටම තිබුන අතර, එම දින වල සිටම ලොකු පුතා ද යම් යම්  අපිරිසිදු  දේ සිදු කරන බව මට තේරුනා. මල පහ කිරීමෙන් පසු සෝදන්න නොදී විනාඩි 30ක් පමණ ගේ මිදුලේ දුවමින් සිටීම. (ඊට පෙර දින වල සෝදන තුරු නොඉවසිල්ලෙන් සිටියා.) පෙර පාසල් මිතුරෙක් කලා යැයි කියමින් හොටු මැලියම් කෑම, අඩන විට අනවශ්‍ය ආකාරයෙන්  කෙල හොටු පෙරාගෙන අඩමින් අසල ඇති ඕනෑම දෙයකින් මුහුණ පිස දැමීම, (ඇඳ, පුටු සැටිය වැනි ස්ථාන වල නිතරම වගේ) ඉද හිට එයාගෙ අත්, අපෙ අත් ලෙව කනවා, නිවස තුළ හිතාමතාම මූත්‍ර දැමීම වැනි බොහෝ අප්‍රසන්න දේවල් සිදු කරන ලද අතර මේ වන විට එම තත්ත්වය ටිකක් මග හැරී තිබේ. එවැනි අවස්ථාවල මා කෝපයට පත්ව පහරදීම සිදු කලෙමි. හොදින් සිටින විට නැවත එවැනි නරක වැඩ නොකරන ලෙස ඉල්ලා සිටියෙමි. නමුත් නැවත නැවතත් එවැනි දේ කරමින්   මාව අපහසුවට පත්  කරයි.   එම තත්ත්වය මග හරවා ගැනීමට මා කුමක් කල යුතුද? මනෝ වෛද්‍ය ප්‍රතිකාර කළ යුතු වේවිදැයි අදහසක් ලබා දෙන්න.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

අලුත උපන් බිළිදියගේ වැඩ කටයුතුත්, සිසේරියන් සැත්කමකින් දරුවා ලැබුණු නිසා පවතින අපහසුතාත්, අවුරුදු 4ක් වයසැති ඔබේ පුතුගේ හැසිරීමත් සමඟ ඔබ දැඩි ආතතියක පසුවන බව පෙනෙනවා. ඔබ සඳහන් කර ඇති ආකාරයට ඔබගේ පුතු බිළිදියට කැමැත්තක් දක්වන නමුත් යම් යම් අවස්ථාවල ඇයව රිදවිමටද උත්සහ කර ඇති බව පෙනේ. වයස අවුරුදු 4ක් යනු දරුවන් දෙමාපියන්ගේ ආදරය හා අවධානය වැඩි වශයෙන් බලාපොරොත්තු වන අවධියකි. එම අවධියේ දෙමාපියන්ගේ අවධානය තමා වෙත ලබාගැනීමට යම් යම් දේ කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. ඔහු ඔහුගේ සොහොයුරිය යම් යම් අවස්ථාවල රිදවිමටද උත්සහ කරන්නේ ද ඒ හේතුවෙන් විය හැකිය. 

මවගේ අවධානය වැඩි වශයෙන් ඇත්තේ අලුත් උපන් බිළිදාට වන බව හැඟී යාමේදී මෙම වයසේ ළමුන් මෙලෙස හැසිරීම සාමාන්‍ය තත්ත්වයකි. එමෙන්ම මනෝවිද්‍යාවට අනුව ඔබේ දරුවා මේ වනවිට පසුකරමින් සිටින්නේ ගුද අවධියයි. මෙම අවධියේ සුවිශේෂීත්වය වන්නේ දරුවන් තමාගේ මළ අපද්‍රව්‍ය සමඟ සෙල්ලම් කිරීමට හා මළපහ කිරීම හා නොකිරීම මඟින් තෘප්තිමත් වන බවයි. එමනිසා මෙම අවධියේදී දරුවන්ට නිවැරදි වැසිකිළි පුහුණුවක් ලබාදීම දෙමාපියන් විසින් අත්‍යවශයෙන්ම සිදු කළ යුත්තකි. ඔබගේ දරුවා විසින් සිදු කරනවා යනුවෙන් ඔබ දක්වන ක්‍රියාවන් එම වයසේ පසුවන දරුවන් අතර පොදුවේ සුලබව දැකිය හැකි ක්‍රියා වේ. ඔහු හොටු පෙරමින් වඩාත් හයියෙන් හඬන බව ඔබ සඳහන් කොට තිබෙනවා. කුඩා දරුවන් දෙමාපියන්ගේ හා අවධානය තම වෙත යොමු කොට ගැනීමට සිනහවිම හා හැඩීම අනිච්චානුගව යොදා ගැනීමට පෙළඹේ. එමෙන්ම හිතාමතාම නිවස තුළ මුත්‍රා කිරීම සිදු කරන්නේද ඔහුගේ ආවේගය පළ කිරීමට හෝ අවධානය තමා වෙත යොමු කරගැනීමට විය හැකිය. එමනිසා ඔබ පුතු සමඟ කටයුතු කිරීමේදී ඔහු පසු කරන මෙම අවධිය පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කිරීම වඩාත් වැදගත් වේ. ඔහු විසින් සිදු කරන දේවල් වලට තරවටු කිරීමට යාමෙන් ඔහුගේ මෙම හැසිරීම් වර්ධනය වීමක් සිදු විය හැකිය. එම නිසා නිතරම ඔහුට ඒ පිළිබඳව කාරුණිකව ඔවදන් ලබාදීමටත්, බිළිදියගේ වැඩකටයුතු වලට ඔහුවත් සම්බන්ධ කරගැනීමත් මඟින් ඔහුගේ සිතෙහි බිළිදිය පිළිබඳව යම් ඊර්ශ්‍යා සහගත හැඟීමක් ඇත්නම් එය පහව යාමත්, ඒ තුළින් ඔහුගේ මෙම චර්යාවන් මඟහැරී යාමටත් ඉඩ ඇත. උදාහරණයක් ලෙස බිලිඳියගේ ඇඳුම් සෝදා වේලෙන්නට දැමීමේදී ඔහුටත් එම ඇඳුම් වලට ක්ලිප් කටු ගසන ලෙස පැවසිය හැකිය. එමෙන්ම බිලිඳියගේ උපකරණ ඇසිරීමටත් ඔහුගෙන් උපකාර ලබා ගත හැකිය. මේ ආකාරයට කටයුතු කිරීමේදී ඔහු කරන කාර්යයයන් අගය කිරීමද, ඔහුව සිප වැළඳගෙන උණුසුම් ප්‍රතිචාරයක් ලබා දීමටද අමතක නොකරන්න. එමඟින් ඔහුට ඔබගේ ආද‍රය හා අවධානය ඔහු වෙත යොමුව ඇති බව හැඟී යාම නිසා ඔහුගේ හැසිරීමේ සාධනීය වෙනසක් දැකගත හැකි වේවි.


මෙම ගැටළු හේතුවෙන් ඔබ දැඩි පිඩනයක පසුවන බව පෙනෙනවා. ඒ හේතුවෙන් ඔබට අධික ලෙස කේන්ති යාම වැනි තත්ත්වයන් ඇතිව ඇති බව මාගේ අදහසයි. එම පීඩනය අවම කරගනිමින් දරුවන්ගේ කටයුතු ඉටු කිරීම සඳහා ඔබ සැහැල්ලු මානසිකත්වයකින් සිටීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් වේ. එමනිසා ඔබගේ මෙම පීඩනය අවම කරගැනීම සඳහා ඔබට මනෝ උපදේශනයට යොමු විය හැකිය. ඒ සඳහා ඔබට ළඟම ඇති රෝහලේ මිතුරු පියස වෙත යොමු විය හැකිය. එසේත් නැතිනම් ඔබ ප්‍රදේශයේ සිටින පළපුරුදු මනෝ උපදේශකවරයෙකු වෙත යොමු වී ඔබේ ගැටළු සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 27 Apr 2021 Tue 1:58 AM