ප්‍රශ්න තොරතුරු

මම විවාහ වීමට කලින් තරහා ගිය කෙනෙක් නෙවෙයි. සැබවින්ම සාමකාමී කෙනෙක්. නමුත් විවාහයෙන් පසුව අපි ජීවත් වෙන්නේ සැමියාගේ දෙමාපියන් සමගයි. මා විවාහ වූ දින වල පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු වූ නිසා දවසින් වැඩි කාලයක් නිවසින් පිටව සිටීමට හැකි වීමෙන් නිතර ගැටලුවක් පැන නැඟුනේ නැත. නමුත් යම් අවස්ථාවල නැන්දම්මාගේ අසාමාන්‍ය ක්‍රියා නිසා සිත් කලකිරීමෙන් වුවත් ආරවුලකින් තොරව ජීවත් වුනෙමි. (සැමියාගේ දෙමාපියන් ඉහල මහලේ පදින්චිව සිටින අතර නිවස ඇතුළත පඩිපෙළ තිබෙන නිසා නිතර යාමට ඒමට පුලුවන්. දිනක් රාත්‍රී මා එක් විටම අප සිටි කාමරයේ දොර විවර කරන විට නැන්දම්මා අප සිටි කාමරය අසල සිට ටෝච් එකක් අරන් සාලය දෙසට ගියා. ලයිට් එකක් හෝ නොදමා ඇය අප දෙදෙනාගේ පෞද්ගලික අවස්ථාවන්ට ඇහුම්කන් දීම, මා කාර්යාලයට ගොස් පැමිණ බෑගය තබා වොෂ් කරගෙන එන අතරතුර මාගේ බෑගය විපරම් කිරීම, මා නිවසේ නැති අවස්ථාවල මාගේ අල්මාරිය විවර කර එහි ඇති සෑම දෙයක්ම බැලීම වැනි නොයෙක් පහත් ක්‍රියා රාශියක් ඇය සිදු කරා. නමුත් මා එම අවස්ථාවල සැමියා අපහසුතාවයට පත් නොකර ඉවසා දරාගෙන සිටියා. ඒ වන විට ඔහුගේ පියාට අයත් නිවසේ ඉහල මහලේ පිහිටි සිල්ලර බඩු කඩෙන් දෙමාපියන් ආහාර සැපයීම නිසා අප දෙදෙනාද එක් මාසයක මසකට සරිලන පරිදි ආහාර ද්‍රව්‍ය ගෙනත් දැමූ විට නැවත එසේ නොකරන ලෙස ඔවුන් දෝෂාරෝපණය කල බැවින් නැවත එසේ නොකර සිටියෙමි. ) එම කාලයේ සැමියා ඔහුගේ දෙමාපියන්ට යම්කිසි චෝදනාවක් එල්ල කර සිටි විට එලෙස නොකරන ලෙසත්, ඔවුන් දුක් මහන්සියෙන් සාදා ගත් නිවසේ ඔවුන්ට අවශ්‍ය විදිහට සිටීමට ඉඩ දෙන ලෙසත් පවසමින් ඔහුගේ සිතෙහි දෙමාපියන් කෙරෙහි ඇති වූ අමනාපකම් දුරු කර දැමීමට කටයුතු කලෙමි. කාලයේ ඇවෑමෙන් මා 2016 දෙසැම්බර් මස මාගේ පුතා (පලමු දරුවා) ගේ උපත සමග රැකියා ස්ථානයෙන් ඉවත් වී නිවසේ සිටියෙමි. එම මුල් කාලයේ සිටම නැන්දම්මා ඇයගේ කර්මාන්තය (කාන්තාවන් යොදවා බීඩි එතීම) ට එන කාන්තාවන් සමග මා කරන කියන නොයෙක් දේවල් පවසමින් ඔවුන්ගෙන් උපදෙස් ගෙන මා හට පැවසීම නිසා මට ඇයව එපා වුනා. මුල් දරුවා නිසා නෑවීම ආදිය ඇය විසින් සිදු කරන ලද අතර ක්‍රමයෙන් ඉවුම් පිහුම් කටයුතු මා වෙත යොමු කර ඇය දරුවා සමග සිටියා. දිනක් මා අහම්බෙන් සාලය වෙත යනවිට දරුවා බිම play mat 1 මත තබා ඇය පුටුව මත හිද ගෙන මාස දෙකක්/ තුනක් අතර වුන ළදරුවාට ඇයගේ කකුලක් දික් කරගෙන සිටි අතර දරුවා ඇගිලි සූප්පු කරමින් සිටියා. ඇය වත්තට ගියත් පාවහන් භාවිතා නොකරන කෙනෙක්. ක්‍රමයෙන් එවැනි අශෝභන කටයුතු දකින මා නිතර එසේ නොකරන ලෙස දෝෂාරෝපණය කිරීමට පටන් ගත්තා. මා මෙහි සිට පවසන දේ පමණක් ඇයගේ සැමියාට (මාමණ්ඩිට) ගොස් පවසනු ඇසෙන අතර ඇය කිසි දෙයක් නොකරන අහිංසක කෙනෙක් විලසින් සිටී. දරුවා බිම වැටී ඔලුව වැදුන විට ඇය අත කෙතරම් වරද තිබුනත් එහි වරදකාරිය මා වෙයි. මා ද එවැනි අවස්ථාවල කෝපයට පත්ව  ඇයට දොස් පවරන විට මාමණ්ඩිය සහ ඇය මා එතැනින් ඉවත් වූ විට වරද මාගේ බව පවසයි. මේ කිසිදු දෙයක් මා සැමියාට පවසා නැත. මා හට නිවසේ වැඩ කටයුතු කිරීම සඳහා ඔහු කිසිදු සහයක් කිසිම විටක නොදෙන අතර, ඔහු රැකියාවට ගොස් 6.00 ට පමණ නිවසට පැමිණ විනාඩි 5ක් වත් නිවසේ නොසිට යහලුවන් සමග කඩ පිලට වී පැයක් දෙකක් හෝ සිට නිවසට පැමිණ ආහාර ගෙන නින්දට යන බැවින් නැන්දම්මා සමග ඇතිවන ගැටුම් ඔහු දන්නේ නැත. මා නිවසටම වී සිටින විට නැන්දම්මා මිනිසුන් ඉදිරිපිට මා පහත් කොට කතා කලද මා සිනහ වෙමින් ඒවාට පිළිතුරු ලබා දුන්නෙමි. මොවුන්ගේ ලොකු පුතා කොළඹින් කසාදයක් කරගෙන එහිම පදිංචි වී සිටී. මා වෙත පැමිණි නැන්දම්මා "අයියාට නං  වැඩ කරන්න යන්න බැරි වුනත් බයක් නෑ. අර කෙල්ල මොනවා හරි කරලා කන්න දෙයි. " යනුවෙන් කී අතර අන්න අරයත් ගාමන්ට් යනවා 20000ක් විතර හෙව්වත් මොකද කියමින්  මාගේ පිලිතුර බලා සිටියා. මම ඉගෙනගත්තේ ගාමන්ට් යන්න නෙවේ නෙ. අනික මම නැවතුනෙ බබා නිසා. අක්කා ටීචර් කෙනෙක්. අනික එයාගෙ අම්මා එයාලගෙ ලමයා හොදට බලා ගන්නවානෙ. මා කියූ සැනින් ඇය හෙමින් ඉහලට ගොස් නැවත ඒ දෙදෙනාගේ සාකච්ඡාව එම කරුණ විය. මේ අතර මාගේ දරුවා ඉතා පිරිසිදුව ලස්සනට පිලිවෙලින් ජීවත් වෙමින් හිටියා. ඒ අතර මා හට උපතැපැල් ස්ථානාධිපති තනතුරක් ලබා දෙන බවක් පවසමින් වංචාකාරී තැනැත්තියක් (මාතලේ මැටිහක්ක උපදෙස් තැපැල් කන්තෝරුවේ ස්ථානාධිපතිනිය)  මාස එක හමාරක් වංචාවෙන් මා පුහුණු කිරීමට බව පවසමින් මා වෙත කාර්යාලයේ සුලු රාජකාරී පවරා ඇය නිවසෙහි වැඩ කටයුතු කර ගත් අතර මාගේ සහතික සහිත ලේඛන නොයවා දිනෙන් දින මඟහරිමින් සිටි බැවින් මා ඉන් නතර විය. (මා පූජාපිටිය සිට එහි යාම සදහා පාන්දර හතරට නැගිට, නිවසේ සියලු වැඩ නිමා කොට බබා ඇහැරෙන්නට කලින් 6.30 වන විට නිවසින් පිටත් වූ අතර, නැවත නිවසට පැමිණියේ 4ට ය. ඉන් පසු නා පිරිසිදු වී බබා සමග විනාඩි 30ක් පමණ සිට රාත්‍රී ආහාරය සැකසුවෙමි. )  මේ කරදර කාලයේ මාගේ දරුවාගේ බර අඩු වී තිබූ අතර ඔහු චණ්ඩි බබෙක් වී සිටියේ ය. දරුවා සුලු දෙයක් ඇල්ලුවද ඔවුන් දෙදෙනාම (නැන්දම්මා සහ මාමා) යටි ගිරියෙන් කෑ මොර දෙනු මටද ඇසී ඇත. , දරුවාට ඉරුණු කිලිටි ඇදුම් ඇන්දවීම,  දරුවා ගේ රෙදි බිම දැමීම. විටෙක ඒවා පාගමින් ඇවිදීම වැනි පහත් වැඩ කිරීම මා තවත් පීඩාවට පත් කලේය. මා නැවත නිවසට වී සිටි අතර මා ඇදුමක් ගත්තත් අපි නම් එකම ඇදුම් ඇන්දෙ. ඔහොම විනාශ කරේ නෑ. කියයි. බබාට සෙල්ලම් බඩුවක් අරං දුන්නත් නාස්ති කරන එක ගැන දොස් තබයි. මේ අතර එක්තරා ප්‍රසිද්ධ ව්‍යාපාරයක භාණ්ඩ ගෙන්වා බෙදා හැරීමේ නියෝජිතයෙක් ලෙස සැමියා මුදල් වෙන් කොට කාර්යාලයක්  සකසා එහි කටයුතු මට පැවරූ අතර එය නිවස අසල තිබූ බැවින් 10.00 පමණ වන විට නැන්දම්මා දරුවා රැගෙන විත් සිටී. භාණ්ඩ වලට අලාභ සිදු කරන බැවින් ඉක්මනින් කාර්යාලය වසා ගෙදර යනු ඇරුනුකොට විකල්පයක් නොතිබිණි. සැබවින්ම මෙම  ව්‍යාපාර ආයතනයේ ඉහල තනතුරක සිටින සැමියාගේ සොහොයුරාගේ ඉල්ලීම මත මෙය කිරීමට භාර ගත් අතර මා කාර්යාලයට ගොස් නිවසට පැමිණ දහවල් කාලයේ දරුවා සමග සිට රාත්‍රී ඔහු නිදි කරවා පාන්දර 1_2 වන තුරු අතපසු වූ කටයුතු යන්තමින් සිදු කලෙමි. එම ලේඛන පවත්වාගෙන යාම පිළිබඳ නිවැරදි දැනුවත් කිරීමක් සොහොයුරාගෙන් වත් නොලැබූන අතර ඒවා අලෙවි නියෝජිතයා ගෙන් අසා ඔහු දන්නා පරිදි කලෙමි. මේ දින වල දරුවාට ඇසෙන පරිදි නැන්දම්මා කුණුහරුපෙන් මා හට බැන ඇති අතර බබා මා එන විට දිනක් තාලයකට කුණුහරුප කියමින් සිටි බැවින් මා හට තනිව මෙය කල නොහැකි බව පවසමින්  කාර්යාලයට සැමියාගේ පවුලේම නැගණියක් මාසික වැටුපක් ගෙවා ගෙන්වා ගතිමි. එම නිසා දැන් එහි කටයුතු ඉද හිට මා ගොස් පරීක්ෂා කරන අතර, මාගේ ව්‍යාපාරික සැමියාගේ දිනපතා බීමත්ව පැමිණීම දක්නට ලැබුණි. දැනටත් අවමය සතියකට දින තුනක් හෝ බීමත්ව පැමිණෙන අතර මා කේන්තියෙන් නිතර ඔහුට බනින්නෙ පටන් ගත්තෙමි. දරුවා පෙර පාසල් යන අතර ඔහුගේ වැඩ කටයුතු කරන අතර දෙවන ගැබ් ගැනීම සිදු විය. මා නිතර කුඩා දෙයට පවා කෝපයට පත්වන්නට සහ දරුවාට පහරදීමට පවා පෙළඹුණෙමි. සැබවින්ම පෙර පාසලෙන් දෙන ගෙදර වැඩ නොකරන විට නැන්දම්මා කියන්නේ අනෙක් ලමයි ඔක්කෝම කරනවා. උබට විතරයි  බැරි යනුවෙනි. එවිට මා කොතෙකුත් ආදරෙන් කියා දීමට ගියද ඔහු එය මග හැරීම සිතට තරහක් ගෙන දුන්නේ ය. මා ගැබ් ගෙන සිටි බැවින් නිතර වමනය වීම නිසා මා තනියම නිදා ගත් අතර මාගේ  දුරකථනයෙන් දරුවාට cocomelon nursery rethems දාලා දුන්නා. එවිට එහි ඇති  වචන උච්චාරණය කරමින් සිටි දරුවාට සැමියාගේ දුරකථනය ලබා දී අධික ශබ්ද සහ ඝෝෂාකාරී, කලහකාරී කාටූන් සහ ලමා වීඩියෝ පට (කිසිදු වැඩකට නැති) ලබා දී මා එවැනි  දේවල් නොදෙන ලෙස කියන විට ඒවා නොතකමින් ඔහු නිදා ගන්නා අතර දිනක් මා අවදි වී බැලූ විට දරුවා 12 වන තුරුත් දුරකථනය දෙස බලා සිටියා. මාගේ කෑ ගැසීම නිසාම දැන්  නම් කිසිදු දුරකථනයක් ලබා නොදෙයි. 1. සැමියාගේ බීමත් කම 2. ඔහුගේ දෙමාපියන් නිසා හිතේ ඇති ව ඇති පීඩනය 3. මා පෙර ගැටලුවේ සදහන් කල පරිදි ලොකු දරුවා ගේ ගැටලුව (ඊට නම් විසදුමක් ලැබුණ) 4. දැන් පොඩි බබාට මාසයක් වන අතර නිවසේ කටයුතු තනිව කර ගැනීමට උත්සාහ කලද නිතර ගෙදර අපිළිවෙළ නිසා තවත් පීඩාව වැඩි වෙනවා. 5. නිවසේ අලුත් වැඩියා සිදු කිරීමට තබා පිලිස්සී ගිය බල්බයක් වත් මාරු නොකරන සැමියා පිලිබඳ නිතර කෝපයට පත් වන මා හට මේ සදහා විසදුමක් බලාපොරොත්තු වෙමි.

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ සැමියාගේ දෙමාපියන්ගේ හැසිරීමත්, සැමියාගේ බිමත්කමත්, වැඩිමහල් දරුවාගේ හැසිරීමත්, දරුවන් සම්බන්ධයෙන් ඔබට පැවරී ඇති වගකීමුත් නිසා ඔබ මානසික පීඩනයට පත්ව ඇති බව දැනේ. කෙනෙකුගේ බීමත්කම නවතා ගැනීම වෙනත් කෙනෙකුට බලෙන් සිදු කළ නොහැකි අතර ඒ සඳහා එම පුද්ගලයාටම අවශ්‍යතාවයක් පැවතිය යුතුයි. එමනිසා ඔහුගේ බීමත්කම හේතුවෙන් ඔබ පත්වන අපහසුතාවය ඔහුත් සමඟ සාකච්ඡා කරන්න. ඔහුගේ බීමත්කම හේතුවෙන් පවුලට සිදුවන බලපෑම පිළිබඳව ඔහුට පැහැදිලි කර දෙන්න. මෙහිදී ඉතා සාමකාමීව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමටත්, එම සාකච්ඡාව ගැටුමක් දක්වා වර්ධනය කර නොගැනීමටත් ඔබ වගබලා ගැනීම වැදගත් වේ. කෙනෙකුට තමාගේ බීමත්කම එකවර නැවැත්විය නොහැකි අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ලබා දිය යුතුයි. එනම් ක්‍රමානුකුලව ඔහුට මත්පැන් පානය කරන ප්‍රමාණය හා වාර ගණන අඩු කරගැනීමට සහාය වෙන්න. ඔබ සඳහන් කර ඇති කරුණු වලට අනුව පෙනීයන්නේ ඔබගේ සැමියාට පවුල් ජීවිතය පිළිබඳව එතරම් වගකීමක් නොමැති බවයි. පවුල් ජීවිතය තුළ සැමියෙකුගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කරන්න. දරුවන්ගේ වැඩකටයුතු සඳහා ඔහුව හවුල් කරගන්න.
ඔබ සැමියාගේ දෙමාපියන් නිසා දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පෙනෙනවා. ඔවුන් පසු වැඩිහිටිවියේ සිටින නිසා ඔවුන්ගේ පෞරුෂ ලක්ෂණ වෙනස් කිරීම අපහසු විය හැකිය. එම නිසා කිරීමට ඇත්තේ ඔවුන්ගේ විදිහට හැඩගැසීම හෝ ඔවුන්ගෙන් වෙන්ව වෙනම නිවසක ජිවත් වීමයි. ඒ පිළිබඳව සැමියා සමඟ සාකච්ඡා කරන්න. සැමියාගේ මවගේ ක්‍රියාකලාපය ඔබගේ වැඩිමහල් දරුවාගේ පෞරුෂ වර්ධනය සඳහා මේ වනවිටත් අයහපත් බලපෑමක් සිදු කර ඇති අතර ඉදිරියේදී එය තවත් වර්ධනය විය හැකිය. එමනිසා ඉක්මන් පියවරක් ගැනීම වඩාත් සුදුසු වේ.
ඔබට දරුවන් දෙදෙනාගේ වැඩකටයුතු හා ඔබගේ රැකියා කටයුතු සමඟ නිවසේ වැඩකටයුතු තනිව කරගැනීමේ අපහසුතාවයක් පවතින බව පෙනෙනවා. ඒ සඳහා ඔබගේ සැමියාගේ උදවු ලබා ගත හැකිය. නැතහොත් ඔබගේ දෙමාපියන්ගේ සහාය ඒ සඳහා ලබාගැනීමට සාකච්ඡා කරන්න.
එමෙන්ම ඔබගේ මානසික පීඩනය සමනය කරගැනීමට හා සැමියා සම්බන්ධයෙන් ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට ළඟම රජයේ රෝහලේ ඇති මිතුරු පියස වෙත යොමුවන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 29 Apr 2021 Thu 2:51 AM