ප්‍රශ්න තොරතුරු

මම වයස අවුරුදු 30 ක තරුණියක් වන අතර මගේ පෙම්වතාගේ වයස අවුරුදු 34 කි.අපි අවුරුදු 9 ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවය පවත්වා ගෙන ගිය අතර මෙම වසර අග වන විට විවාහ වීමට අපේක්ෂාවන් සිටියෙමු.අප දෙදෙනා කායිකව හා මානසිකව දැඩි සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන සිටියද මෙම විවාහයට මගේ දෙමව්පියන් විරුද්ධ විය.නමුත් දෙමව්පියන්ගෙන් විය යුතු යුතුකම් නිසි ලෙස ඉටු නොවීමත් නිරන්තරයෙන් පවුල තුල මගේ අදහස් නොසලකා හැරීමත් නිසා මා දැඩි අසරණ තත්වයකට පත්ව මානසිකව කඩා වැටුණි.දෙමව්පියන් බාහිර පාර්ශවයන් සමඟ සිදුකළ ක්‍රියාවන් නිසා මගේ අධ්‍යන කටයුතු වලට දැඩි බාධා එල්ල විය.නමුත් මගේ පෙම්වතා මා පසුපස හිඳ මා දිරිමත් කරමින් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හා රැකියාවක් ලබා ගැනීමට සහය විය. දෙමාපියන්ගේ අකමැත්ත හා විවාහයෙන් පසු වෙනම නිවසක සිටීමට සිදුවන බැවින් මා රැකියාව ස්ථිර කර ගන්නා තුරු හා කෙසේ හෝ දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගන්නා තුරු ඉවසා සිටීමට ඔහු පොරොන්දු විය. නමුත් ඔහුගේ පවුලේ අය විසින් මා ඔහුට වංචාවක් කරන බවත් මා විශ්වාස නොකරන ලෙසත් මට ඉතා ඉක්මනින් විවාහ වීමට තර්ජනය කරන ලෙසටත් උපදෙස් දී ඔහු නොමඟ යවා තිබුණි.නමුත් මා හට බොහෝ සේ අාදරය කළ ඔහු සියල්ල ඉවසූ අතර අප දෙදෙනාද ඉතාමත් අාදරයෙන් කල් ගෙව්වෙමු. මේ අතර ඔහුගේ සහෝදරයා හා සහෝදරිය තම අඹු දරුවන්ද සමඟ පැමිණ බලහත්කාරයෙන් ඔහුගේ නිවසේ පදිංචි  වී ඉතා ඉක්මනින් විවාහ වී යන ලෙසට කරදර කරන්නට විය.මේ නිසා රෝගියෙකු වූ ඔහු වස පානය කළේය.ඔහුට වකුගඩු රෝගයක්ද වැළඳුණි.එහෙත් ඔහුට තිබූ අාදරය නිසාම මා ඔහු විවාහ කර ගැනීමට සූදානම් විය.ඉන් සති කිහිපයකට පසු මා හට බොරු කියා ඔහු වෙනත් කාන්තාවක් සමඟ සිටිනු මට හසුවිය. එහිදී ඔහු එම කාන්තාව විවාහ කර නොගන්නා බවත් මා පමණක් විවාහ කර ගන්නා බවත් පවසා ඔහු හැර ගියහොත් මුළු පවුලම මරා දමන බවටත් තර්ජනය කළේය. මා ඔහුට දැඩි ලෙස අාදරය කළ බැවින් නීතිමය පියවරක් ගැනීමටද මට නොසිතෙයි.නමුත් වෙන කාන්තාවක් හා දවස ගත කර එනු අතටම හසු වූ ඔහුව මට දැන් පිළිකුල්ය.මට වෙනත් පිරිමියෙකු කෙරෙහි හැඟීමක් අැති වන්නේද නැත.ඔහු නිතරම මට දැන් විවාහයට බල කරයි.මට ජීවිතය ගැන දැඩි කලකිරීමක් අැත.

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ පෙම්වතා ඔබව මුලා කරමින් වෙනත් කාන්තාවක් ඇසුරු කිරීමත්, ඔහු හා විවාහ වන ලෙස තර්ජනය කිරීමත් නිසා ඔබ ජීවිතය පිළිබඳව කළකිරීමකින් පසු වන බව පෙනෙනවා. සැබැවින්ම ප්‍රේම කරන අයෙකු නම් එලෙස වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම සිදු නොකරයි. එක් වරක් එලෙස කළ පුද්ගලයකු නැවත වතාවක් එලෙස කිරීමට නොපැකිලේ. ඔබ සඳහන් කරන කරුණු වලට අනුව ඔබගේ පෙම්වතා අත වරද තිබියදී ඔබට ඔහුව විවාහ කරගන්නා ලෙස තර්ජනය කිරීමෙන් ඔහු ඔබව හිංසනයට ලක් කරන බව පෙනේ. එය වරදකි. ඉවසිය යුතු තත්ත්වයක් නොවේ. විවාහයකදී දෙදෙනා අතර ශක්තිමත් මානසික බැඳීමක් පැවතිය යුතුයි. ඔබ පවසා ඇති කරුණු වලට අනුව පෙනෙන්නේ සිදුව ඇති සිදුවීම් වලට අනුව ඔබ දෙදෙනා අතර මේ වනවිට හොඳ මානසික බැඳීමක් නොමැති බවයි. වසර කීයක ප්‍රේම සම්බන්ධතාවයක් වුවද දැන් ඔබට ඔහු නිවැරදි පුද්ගලයා යැයි නොහැගේ නම් සාකච්ඡා කොට සම්බන්ධතාවය නැවැත්වීම සුදුසු වේ. එලෙස ඔහුත් සමඟ සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය නොහැකි නම් නීතිමය ක්‍රියා මාර්ග ගැනීම වඩාත් වැදගත් වේ.


ඔබ දක්වා ඇති කරුණු වලට අනුව පෙනී යන්නේ ඔහු ඔබට විවාහයට බල කර සිටින අතරම, එසේ නොකළ හොත් ඔබගේ පවුලම ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවයි. මෙවැනි තත්ත්වයක් යටතේ ඔබ සහ ඔබේ පවුලේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 30 Apr 2021 Fri 11:28 AM