ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර්  අවුරුදු ගානක් පනටත් වඩා ආදරේ කරපු කෙනෙක් වෙනස් උනාම එයා අපිට වෙනස් කම් කරනකොට අපිව ගානක් නැති උනාම ඒත් එයා මත්තෙම ඉන්න හිතෙන්නෙ ඇයි.කොච්චර වෙනස් කම් කලත් අමතක කරන්නම බැරි ඇයි.අපෙ හිතේ ආදරේ පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නැත්තෙ ඇයි.හිත හදා ගන්න විදිහක් කියන්න ඩොක්ටර් පිං..    

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පෙර බොහෝසෙයින් ආදරය කළ පුද්ගලයා වෙනස් වුවද ඔබට ඔහු හෝ ඇය පිළිබඳව ඇති ආදරය අමතක කළ නොහැකි වීම නිසා ඔබ දුකින් පසුවන බව පෙනෙනවා. අප කෙනෙකු හා ආදරයෙන් බැදෙද්දී අප ඔහුට ආදරය කරන ආකාරයටම ඔහු හෝ ඇයත් අපට ආදරය කළ යුතුය යනුවෙන් බලාපොරොත්තුව අපගේ සිත තුළ ගොඩනැගේ. එවිට එම පුද්ගලයාගේ සුළු වෙනසක් වුව දරාගැනීමට නොහැකි තත්ත්වයට පත්වීමක් සිදු වේ. එම අවස්ථාවේදී අපව දුකට පත් කරන්නේ එම පුද්ගලයාගේ ක්‍රියාකලාපයට වඩා අපගේ සිත තුළ එම පුද්ගලයාට ලබා දී තිබු ස්ථානය පළුදු වීමේ වේදනාවයි. ඔබ පත්වී ඇත්තේද මෙවැනිම තත්ත්වයකට වන බව මාගේ අදහසයි. ඔබ ඔහු හෝ ඇය පිළිබඳව ගොඩනඟා ගෙන ඇති දැඩි මානසික බැඳීම ඔහුව අමතක කිරීමට නොහැකි ලෙස මනසින් ඔබව එම අතීතයේ සිර කොට තිබේ. ඔබට ඔහුගේ හෝ මතකයෙන් මිදීමට ඔබට පහත දේ අනුගමනය කළ හැකිය.
* ඔහුට හෝ ඇයට ඔබ හා සම්බන්ධ විය හැකි දුරකථන අංක අවහිර කොට දමන්න.
* සමාජ මාධ්‍ය මඟින් ඔහුව අවහිර කරන්න.
* ඔබ දෙදෙනාගේ අතීත මතක සිහිවන ඡායාරූප හෝ වීඩියෝ මකාදමන්න.
* ඔබ දෙදෙනා විසින් පෙරදී සිදු කළ සංවාද කෙටිපණිවිඩ මකාදමන්න.
* මිතුරන් සමඟ ඔහු / ඇය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් වලකින්න.
* ඔහු / ඇය පිළිබඳව මතකයට නැඟෙන වේලාවට ඔබගේ සිත වෙනත් අරමුණක් වෙත යොමු කරන්න.
* ඔහු හෝ ඇයගේ සෘණාත්මක පැතිකඩ පිළිබඳව සිතා ඔබගේ සිත තුළ ඔහු පිළිබඳව ඇති ඉඩකඩ අහුරන්න.

ඒ සඳහා මෙම අභ්‍යාසය සිදු කළ හැකිය.
එම පුද්ගලයාගේ සෘණාත්මක කරුණු (ඔහු / ඇය ඔබට කළ වැරදි) ලැයිස්තුවක් සකසා ගන්න. ඔහුව මතක් වන අවස්ථා වලදී එම ලැයිස්තුව යළි යළිත් කියවා බලා මෙවැනි පුද්ගලයෙකු පිළිබඳව සිතීමට ඔබගේ කාලය වෙන් කිරීම ඵලදායි නොවන බව සිතන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 May 2021 Fri 5:08 AM