ප්‍රශ්න තොරතුරු

මං 2016 A/L කලේ වාණිජ අංශයෙන්. Campus යන්න ලොකු බලාපොරොත්තුවක් තිබ්බත්. මගේ Result එක මං හිතුව තරම් තිබ්බේ නෑ. BBC Result එක තිබ්බේ. හිතුවෙවත් නැති විදියට මගේ හීන ගොඩක් නැති උනා වගේ දැනුනා.එතනින් එහාට මොකක්ද කරන්නේ කියන එක මට හිතාගන්න බැරි උනා. ලොකුවට සල්ලි වියදම් කරලා Private Campus එකකට යන්න තරම් වත්කමක් මට තිබුනේ නෑ. AAT කරන්න ගත්තත් අතරමඟ නැවතුනා. පටන් ගන්න හැමදෙයක්ම මං මඟදි නවත්තනවා. ඒත් ඉගෙන ගන්න ලොකු ආසාවක් තියෙනවා. මේ අවුරුදු 5 එක එක දේවල් ඉගෙන ගත්තත්. ඒ දේවල් වලට තියෙන පිළිගැනීම අඩුයි. දැන් මං ජොබ් එකක් කරනවා. ඒත් තවම මගේ හිතේ ලොකු අඩුපාඩුවක් තියෙනවා මං මීට වඩා හොඳ තැනක ඉන්න ඕන කෙනෙක්. මාත් අසයි Degree එකක් ගන්න කියන එක. ඒත් දැන් මට හිතාගන්න බෑ. මං මොකක්ද කරන්න ඕන. මං මොන දෙයක්ද කරන්න ඕන කියලා.හිතේ ලොකු දුකක් තියෙනවා ඒ ගැන. නෑදැයෝ අතරෙත් හෑල්ලුවට ලක් වෙනවා A/L විතරයිනේ තියෙන්නේ කියන එකෙන්. නොදැනුවත්ම ඒකත් මට මානසිකව ගොඩක් වද දෙනවා. ගෙදර අය එක්ක කියුවත් Campus යන්න Pass උනේ නැත්නම් කරන්න අපිට ඊට වඩා කරන්න දෙයක් නෑ කියලා කියනවා. මට එතකොට ⁣තවත් ඒක වද දෙනවා. Open University එකේ Management Degree එකට Apply කලත් එකේ Select උනා කියලා ආවේ නෑ. එදා ඉදන් මඟපෙන්වන්න කවුරුවත් හිටියේ නෑ. මං හිතුමනාපෙට දේවල් කලේ. මට දැන් මං මොකක්ද කරන්න ඕන කියන දේ පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ස්තූතියි.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ ඉගෙනගැනීමට දැඩි කැමැත්තක් දක්වන අයෙකු වන බව ඔබගේ කතාව ආශ්‍රයෙන් හොඳින් පැහැදිලි වේ. ඔබට උසස්පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු මට්ටමක් නොලැබීම නිසා ඔබ දැඩි කනස්සල්ලට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් ඔබ පසුව විවිඩ පාඨමාලා හදාරන්නට උත්සහ කළත් ඒ දේවල් සම්පුර්ණ කිරීමට තරම් මානසිකත්වයක ඔබ පසු නොවූ බවත්, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය සඳහා ඉල්ලුම් කළත් ඒ සඳහා තෝරාගත් බවට කිසිදු සඳහනක් නොලැබීමත් ඉන් ඉදිරියට ඔබට මඟ පෙන්වීම සඳහා කිසිවෙකු නොමැති වීමත් නිසා ඔබ දුකට පත්ව සිටින බව පෙනෙනවා. ඔබ විවෘත විශ්වවිද්‍යාලයට කතා කොට කළමනාකරණ උපාධිය සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්න විමසා බැලීම වැදගත් වේ. එසේ නොමැති නම් ඔබගේ සුදුසුකම් මත වෙනත් උපාධියක් හැදෑරීමට ඒ තුළ අවකාශය ඇත්දැයි යන්න විමසා බැලීම සුදුසු වේ.
ජීවිතයේදී අපට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදු වේ. එම අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් අප සතුව එක විකල්පයක් පමණක් නොව විකල්ප කිහිපයක් පැවතිය යුතුයි. විකල්ප කිහිපයක් ළඟ තබාගෙන යමක් කරන්නට යාමෙන් කුමන හෝ විකල්පයක් සාර්ථක විය හැකිය. ඔබත් මේ අවස්ථාවේ කළ යුත්තේ එය බව මාගේ අදහසයි. ඔබට කළමනාකරණ උපාධියක් හදාරන්නට නොහැකි නම් ඔබ කැමැත්තක් දක්වන තවත් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සිතන්න. එවිට ඔබ කැමති ඒ කුමන හෝ ක්ෂේත්‍රයකින් උපාධියක් ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමි කරගැනීමට හැකියාව ලැබේ.
අනෙක් කාරණාව වන්නේ උපාධියක් තිබීම හෝ නොතිබීම මඟින් කෙනෙකුගේ දැනුම හෝ සාර්ථකත්වය මැනිය නොහැකිය. කොතරම් උපාධි තිබුනද එම පුද්ගලයාට අදාල ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට මනා දැනුමක් හා කුසලතාවයක් නොමැති නම් ඔහුගේ උපාධිය ඵල රහිත වේ. වඩාත් වැදගත් වන්නේ තමන් කරන කර්තව්‍ය වඩාත් හොඳින් සහ වුවමනාවෙන් සිදු කිරීමයි. සමාජය තුළ දී අපට හමුවන විවිධ පුද්ගලයන් අප කුමන දේ කළද විවිධ දේ පවසයි. උපාධියක් ලබා තිබුනද රැකියාවක් නොමැති නම් ඒ පිළිබඳවම දිගින් දිගටම විමසමින් සිත රිදවීමට මිනිසුන් උත්සහ කරයි. එවැනි අවස්ථාවක කළ යුත්තේ හිතින් කඩා වැටීම නොව ඔවුන් පවසන දෙයට හිනාවකින් සංග්‍රහ කොට ඒ දේවල් අමතක කිරීමයි. අප වෙනත් කෙනෙකුගේ කීමට යමක් කළ යුතු නොවේ. එම නිසා බාහිර පුද්ගලයන්ගේ වචන වලින් ඔබගේ හිත රිදවාගැනීම නවත්වන්න. ඔවුන් පවසන දේ පිළිබඳව සිතමින් සිටීම මඟින් ඔබගේ සිත තුළ වර්ධනය වන්නේ සෘණාත්මක සිතුවිලි පද්ධතියකි. එය ඔබගේ සාර්ථකත්වයට බාධාවකි. එම නිසා හැකි තරම් ධනාත්මක සිතුවිලි වලින් ඔබගේ මනස පුරවා ගැනීමට උත්සහ කරන්න. ඔබ ඔබගේ හැකියාවන් අගය කරන්න. ඔබට ඔබගේ අපේක්ෂාවන් කරා ළඟා විය හැකි බවට විශ්වාස කරන්න. එමෙන්ම ඒ සඳහා කටයුතු කරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 May 2021 Wed 9:08 PM