< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

සුද යාම කියන්නේ කුමක්ද..ප්‍රතිකාර මොනවාද....සුද යාම ඔපස් වීමට බලපානවද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන දිලීර ආසාදන තත්වයක් තමයි Vaginal candidiasis කියන්නෙ. මෙය ඉතා සුලබ රෝග තත්වයන්. කාන්තාවන්ගෙන් 75%කටම කෙදිනක හෝ මෙම ආසාදන තත්වය ඇතිවෙන්න ඉඩ කඩ තිබෙනව. ඕනෑම වයසකදී දිලීර ආසාදන තත්වයන් ඇතිවිය හැකි නමුත් මෙම තත්වය වයස 30 – 49 ත් අතර කාන්තාවන් අතර බහුලයි. සමහර කාන්තාවන්ට මෙවැනි ආසාදන නිතර නිතර ඇතිවීම දක්නට ලැබෙනව. මෙම ආසාදනයට හේතු වෙන්නේ නමින් හඳුන්වන යීස්ට් වර්ගයට අයත් දිලීරයක්.

vaginal candidiasis තත්වය නිසා ඇතිවන සුලබ රෝග ලක්ෂණ තමයි යෝනි මාර්ගයෙන් කිරි පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවීම, ඒ අවට කැසීමක් දැවිල්ලක් ඇතිවීම, ලිංගික එක්වීමේදී සුළු වේදනාවක් ඇති වීම. මෙවැනි රෝග ලක්ෂණ ඇති විට පරීක්ෂාවකින් තොරවම මෙම රෝග තත්වය හඳුනා ගන්න වෛද්‍ය වරයෙකුට හැකියාව තිබෙනව. වැඩිදුර වෛද්‍ය පරීක්ෂාවන් අවශ්‍ය වෙන්නෙ නැවත නැවත දිලීර ආසාදන තත්වයන් ඇතිවෙන විටයි.

සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වැඩි වන විට යෝනි මාර්ගයේ දිලීර ආසාදන තත්වයන් ඇතිවීම බහුලයි. ඒ නිසා මේ තත්වය ඊස්ට්‍රජන් හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ට වගේම පොලිසිස්ටික් ඔවරි සින්ඩ්‍රෝම් වැනි රෝග තත්වයන් ඇතිවිටත් වැඩිපුර දක්නට ලැබනෙව. ඊට අමතරව දියවැඩියාව, ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වල වෙන HIV වැනි රෝග තත්වයන්, වෙනත් ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම, ගර්භණී වීම වැනි හේතු vaginal candidiasis රෝග තත්වය ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුනා ගෙන තිබෙනව. නමුත් මේ කිසිම අවදානම් තත්වයක් නොමැතිවත් මෙම ආසාදනය ඕනෑම කාන්තාවකට ඇති වෙන්න පුළුවන්.

ඔබට මෙවැනි ආසාදන තත්වයක් ඇති නම් වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ඖෂධ වර්ගයක් ලබා ගන්න පුළුවන්. මෙම ඖෂධ ගිලින පෙති, යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙති, සහ ආලේපන වර්ග විදියට ලබා ගන්න පුළුවන්. ඉන් ඔබට වඩාත් සුදුසු ඖෂධය වෛද්‍ය වරයා නිර්දේශ කරාවි. මෙම දිලීර රෝගය බොහෝවිට ඖෂධ මගින් සුව කරන්න පුළුවන්. ඔබට මුලින්ම රෝගය සුව කිරීමට ඖෂධ ලබා දෙන අතර, ඉන් පසු නැවත ඇති වීම වැලැක්වීමට මාස 6ක පමණ කාලයක් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි. ඖෂධ ලබා ගැනීමේදී නිර්දේශ කල සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා ගැනීම වැදගත් වෙනව. එසේ නොමැති නම් යෝනි මාර්ගය තුල දිලීර ඉතිරිව තිබී ඉක්මණින් නැවත ආසාදන තත්වය ඇතිවීමට වගේම ඖෂධ වලින් පාලනය කිරීම අපහසු වීමටත් අවදානමක් තිබෙනව.

සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා නොගැනීම සහ කලින් සඳහන් කල දියවැඩියාව වැනි රෝග තත්වයන් මෙලෙස නැවත නැවත දිලීර ආසාදන ඇතිවීමට හේතු ලෙස සලකන අතර කිසිම අවදානම් තත්වයක් නෙමැතිවත් නැවත නැවත vaginal candidiasis රෝග තත්වය ඇති වෙන කාන්තාවන් සිටිනව.

මෙම රෝග තත්වය ඇතිවීම වළක්වා ගැනීමට සැහැල්ලු කපු යට ඇඳුම් භාවිතා කිරීම, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වියලිව තබා ගැනීම, දියවැඩියාව වැනි රෝග තත්වයන් හොඳින් පාලනය කර ගැනීම වැනි පියවර වැදගත් වෙනව. ආසාදන තත්වයක් ඇති විය ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ඖෂධ රෝග ලක්ෂණ සමනය වීමත් සමග නතර නොකර සම්පූර්ණ කාල සීමාවටම ලබා ගන්න.

එය ඔසප් චක්‍රයට බලපෑම් ඇති නොකරයි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Sep 2021 Sun 12:21 PM