ප්‍රශ්න තොරතුරු

age ushanaya thiyana kota kemata sudusu ahara monwada...නුසුදුසු ewa monawada...sau keda biuwata kamak nedd

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ශීත ආහාර උෂ්ණ ආහාර ලෙස බෙදා දැක්වීම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන්නක්. ඔබ‍ට දැනගැනීම පිණිස උපුටා ගත් ආයුර්වේද ලිපියක් දක්වන්නම්. 




අපි බලමු ඌෂ්ණ රෝගීන් පෙන්වන ලක්ෂණ මොනවද කියලා. 
1. සමහර ආහාර ගත් විට ඇගේ පලු මතුවීම වැනි ආසාත්මික ලක්ෂන ඇති වීම.
2. කට, තොල් පැලීම වණ වීම.
3. කකුල, යටි පතුල පැලීම.
4. ශරීරයෙන් නිතරම රස්නයක් වැනි පිට වීම.
5. අම්ල පිත්ත රෝගයට ගොදුරු වීම.
6. ලඟ සිටින අයට රෝගියාගේ ශරීරයෙන් රස්නයක් පිටවන බව දැනීම. නමුත් උන නොතිබීම. 
මෙවැනි දහසකුත් එකක් ලක්ෂණ කියන්න පුළුවන්. 

එතකොට අපි බලමු මොනවද මේ ඌෂ්ණ ආහාර කියලා.
1. බලමාළු, කෙලවල්ලෝ.
2. ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ.
3. අන්නාසි.
4. අච්චාරු, විනාකිරි යෙදූ ආහාර.
5. මස් ( හරක් මස් සීතලයි. ඒක වෙනම කථාවක්.)
මෙවැනි ප්‍රෝටීන අධික හෝ ආම්ලික ආහාර වලට අපි ඌෂ්ණ ආහාර කියලා කියනවා.
(මෙයිට වඩා ගොඩක් තිබුනත් ලේසියට මම කීපයක් විතරක් ලිව්වා.)

ඔන්න දැන් අපිට යම් තරමක අවබෝධයක් තියනවා, උෂ්ණ ආහාර ගත්තම වෙන දේ ගැන, සහ එම ආහාර මොනවද කියලා. 

මෙතනදි ඔබ දකින්න ඇති විශේෂයක් මේ හැම දෙයක්ම එක්කෝ ප්‍රෝටීන නැත්නම් ආම්ලික දේවල්. මෙන්න මේක තමයි මෙහි තිබෙන විශේෂම දේ වෙන්නේ.
ආයුර්වේදෙට අනුව ඉතාමත් සීමිත ආහාර කීපයක් හැරුනම අනෙක් සියළුම ප්‍රෝටීනමය ආහාර වලට ඌෂ්න ආහාර කියලා කියනවා. මේක වෙන්නේ ආයුර්වේදීය ගුණාංගයක් වන වීර්ය්‍ය කියන සංකල්පයට අනුවයි. 

එතකොට බලමු ප්‍රෝටීන කියන්නේ මොනවද?
අපි ප්‍රෝටීන කියලා කියන ආහාර, 
ප්‍රෝටීන කියන්නෙත් අම්ල වර්ගයක්. ඒ කියන්නේ ඇමීනෝ අම්ල කියන මූලික අම්ල වර්ග 22කින් තමයි ප්‍රෝටීන් සෑදිලා තියන්නේ දැන් අපිට තේරෙනවා ප්‍රෝටීන් කියන්නෙත් අනෙක් අම්ල වගේම ආම්ලික ද්‍රව්‍යයක් කියලා.
එතකොට අම්ලවල ලක්ෂණ මොනවද කියන ප්‍රශ්නේ අපිට එනවා නේද? 

ප්‍රෝටීනවල ඇති අම්ලවලින් වන ප්‍රයෝජන තමයි,
1. ප්‍රෝටීන පරිවෘත්තියේදී ඇමීනෝ අම්ල ඇති වේ.
2. මෙම ප්‍රතික්‍රියාව නිසා ශරීරයට විශාල ශක්ති ප්‍රමාණයක් ලබා දේ.
3. ඇමීනෝ අම්ල ශරීරයේ වර්ධනයට අත්‍යාවශ්‍යය.
4. මෙම අම්ල (නැතහොත් ප්‍රෝටීන ) විශාල වශයෙන් ගත් විට ශරීරයේ ආම්ලික ගතිය වැඩි වේ. 
5. මෙතනදීත් ශාරිකව සමහර ලක්ෂණ පෙන්වනවා එම ලක්ෂණ බොහෝ දුරට ආසාත්මික ලක්ෂණයි.

නමුත් අපි මේ කථා කරන ඌෂ්ණය කියන්නෙ මේක නෙමෙයි. අපි බොහෝමයක් මෙම තත්වය ඌෂ්ණය යැයි වරදවා වටහා ගන්නවා. නමුත් මේක ඌෂණයේ එක් පියවරක් විතරයි. 

තේරෙන ලෙස කිව්වොත් මේ ඌෂ්ණය හදුන්වන්න රස්නය (Temperature) කියන පදයවත් තාපය (Heat) කියන පදයවත් හරියන් නැහැ. මේක ඒ දෙකටම වෙනස් දෙයක්. 

මම නම් බොහෝමයක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන අවස්ථාවල මේ වචනය වෙනස් නොකර ඌෂ්ණ (ushna) කියන පදය එලෙසින්ම කියනවා, එහෙමත් නැත්නම් ලියනවා. මොකද මේ වචනයට හරියන වචනයක් ඉංග්‍රීසි භාෂාවෙ මට හමුවෙලා නැහැ.

මෙතනදි අපි දැන් බලමු හරියටම ඌෂ්ණය කියන දේ ගැන,
ඔබ දන්නවද මේක බොහෝ සමීප වන්නේ වෛද්‍ය විද්‍යාවට නෙමෙයි. භෞතික විද්‍යාවට. 
මේ විශ්වයේ ඇති ඕනෑම වස්තුවකට තියනවා විභව ශක්තියක්.(potential energy) ඒ ශක්තිය තමයි එම වස්තුවේ එයට ආවේණික වූ ශක්තිය වන්නේ. මේ විභව ශක්තිය ප්‍රයෝජනයට අරගෙන අපිට නොයෙක් කාර්යයන් කල හැකියි.

බලන්න ජලයේ විභව ශක්තිය තමයි අපි විදුලිය නිපදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ. අන්න ඒ වගේ.


මේ විභව ශක්තිය ශක්තිය යම් කාර්යයක් කිරීමේදී අපි ඒකට කියනවා එම ද්‍රව්‍යයේ චාලක ශක්තිය (kinetic energy) කියලා. එනම් කාර්යයන් කිරීමේ හැකියාව.
විභව ශක්තිය යම් ප්‍රමාණයක් චාලක ශක්තිය බවට හැරෙන කොට එතන, 
( මේ විශ්වයේ 100% කාර්යක්ෂම දෙයක් නැහැ. ඒ නිසා තමයි හැම දේම අනියත වෙලා තියන්නේ. ඒක වෙනම කථාවක්.) 
යම් ශක්ති ප්‍රමානයක් නාස්ති වෙනවා. (wastage energy) 

PE = KE + WE


දැන් බලන්න යමෙක් යම් කාර්යයක් කරන විට ඔහුගේ හෝ ඇයගේ ශක්ති හානිය විශාල නම් අදාල කාර්යය කිරීමේ ශක්ත්‍යතාව අඩුයි. එනම් එහි ඵලදායීතාව අඩුයි. කෙනෙක් වයසින් වැඩිවන විට ඔහුගේ මේ ශක්ති හානිය වැඩිවී පරිවෘතීය ක්‍රියාවල ඵලදායීතවය අඩු වෙනවා. මෙහිදී තමයි ලෙඩ වෙන්න පටන් ගන්නේ.
මේ සංසිද්ධියට අපි කියනවා.,

ශක්ති හානිය = ඇගේ ඌෂ්නේ.

මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා



ඔබගේ දැනගැනීම පිණිස තවත් ලිපියක් උපුටා දක්වන්නම්.. 

ඇත්තටම අපි ලබාගන්නා ආහාර වර්ග ඌෂ්ණ හා ශීත ආහාර ලෙස කොටස් දෙකකට  වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඔබ ආහාර ලබා ගනිද්දි ඔබේ ශරීර සෞඛ්‍ය තත්වයට ගැලපෙන පරිදි ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා. එය නීරෝගී පුද්ගලයෙකු බිහි කිරීමට හොඳම මාර්ගයක්. ඉතින් අපි වෛවර්ණ විදියෙ ආහාර වර්ග රාශියක් ලබා ගන්නවා වගේම දිනකට කොපමණ ආහාර ගන්නවද ? ඒ අතර අපේ ශරීර සෞඛ්‍ය තත්වයට සරිලන ආහාර වර්ග මොනවාද කියලා ගෙදර දොර වැඩ කරන කාන්තාවක් ලෙස ඔබත් හොඳ හැටි දැන සිටියොත්  හොඳයි කියලයි මට හිතෙන්නෙ. මොකඳ ගෙදර ඉන්න සියලුම සාමාජිකයන්ගේ ආරක්ෂාව තියෙන්නේ ගෘහණියක් වන ඔයාගෙ අතේ නිසා හරි දේ හරි හැටියට ඔබේ පවුලේ උදවිය වෙනුවෙන් ලබා දීම ඔබගේ වගකීම වෙනවා.
ඉතින් එහෙනම් බලන්න මේ ආහාර වර්ග අතර ඔබට ගැලපෙන වගේම නොගැලපෙන ආහාර වර්ගත් තියේද කියලා.

ඇත්තටම  ඇතැම් පුද්ගලයන්ගේ ශරීරය ඉතාම ඌෂ්ණයි.  වැඩිපුර  දහඩිය දැමීම, ඇතැම් ආහාර වර්ග ලබාගත් පසු ශරීරයේ පලු දැමීම, කැසීම ඇති වීම, ඇලර්ජි තත්වයන් ඇති වීම වැනි තත්වයන් බහුලවයෙන් ඇති වන්නේ ඌෂ්ණ ශරීරයකට හිමිකම් කියන උදවියවේ. එවැනි අය සඳහා කිසිවිටකත් ඌෂ්ණ සහිත ආහාර නිරන්තරයෙන් ලබා දීම පාලනය කල යුතුය. දෛනිකව ඔබත් ඌෂ්ණ සහිත ආහාර ලබා ගැනීම තුලින් ඔබගේ ශරීර අභ්‍යන්තරයේ පවා යම් යම් රෝග තත්වයන් ඇති විය හැකිය. එම නිසාවෙන් ඌෂ්ණ සහිත ආහාර වර්ග හඳුනා ගනිමින් එම ආහාර වර්ග පාලනය කිරීමට ඔබට පුළුවන්. ඇත්තටම මොනවාද මේ ඌෂ්ණ සහිත ආහාර වර්ග.

  • ටින් කල ආහාර
  • සාඩින්
  • මස් කල ටින් ආහාර
  • මීට් බෝල්ස් වර්ග
  • ටින් කල සෝස්
  • ඉස්සන්
  • දැල්ලන්
  • කකුළුවන්
  • ඌරුමස්
  • බල මාළු
  • තෝරා මාළු
  • බල කරවල
  • තක්කාලි දමන ලද ආහාර
  • සෝස් එකතු කරන ලද ආහාර
  • දෙල්
  • මාළු මිරිස්
  • ගහල
  • මුරුංගා

ඉතින් ඉහත සඳහන් කල ආහාර වර්ග අතර අප එදිනෙදා ලබා ගන්නා ආහාර වර්ගත් තිබිය හැකියි. නමුත් අප ආහාරට ගැනීමට කොතරම් ප්‍රියකරන ආහාර වර්ගයක් වුනත් එය අපට අහිතකර නම් එයින් වැලකී සිටීම අපගේම යහපතට හොඳයි නේද ? මෙවැනි ඌෂ්ණ සහිත ආහාර එක දිනකට දෙක තුනක් ලබා ගැනීම තුලින් ඔබගේ ශරීරයේ යම් යම් ඇලර්ජි තත්වයන් ඇති විය හැකි අතර.ඒවාට ඔරොත්තු දෙන ආකාරයට ඔබගේ ආහාර රටාව පවත්වා ගැනීමද ඉතා වැදගත් කරුණකි.

ශීත ආහාර

අප අතර සිටින ඇතැම් පුද්ගලයන් අතර බොහෝ සෙයින් සෙම් රෝග වලන් පෙළෙන අය ඇත. එවැනි පුද්ගලයන් මෙන්ම ගර්භනී තත්වයේ පසුවන මව්වරුන් සඳහාද මෙම ශීත ආහාර ලබා දීම පාලනය කල යුතුය. සෙම් රෝගයන්ගෙන් පෙළෙන අය සඳහා ශීත ආහාර වර්ග ලබා දීම තුලින් ශරීරයේ ඇති සෙම ප්‍රමාණය වැඩි විය හැකිය.එම නිසා තෝරා බේරා ගනිමින් ආහාර ලබා ගැනීමට ඔබ නුවණක්කාර විය යුතුය.
ශීත ආහාර වර්ග අතර : 

  • ශීත කල බීම, යෝගට්, අයිස්ක්‍රීම්, ශීත වතුර
  • වම්බටු
  • වට්ටක්කා
  • ලීම කරල් / මෑ කරල්
  • මුකුණුවැන්නා
  • බටු
  • සාරණ
  • නිවිති
  • තම්පලා
  • මී කිරි / එළකිරි
  • බිත්තර (ගම් බිත්තර වලට සෙම වැඩිය)

මෙවැනි ආහාර වර්ග රාශියක්ම ශීත ආහාර ලෙස හදුනා ගත හැකි අතර සෙම් රෝග ඇති උදවිය සදහා මෙම ආහාර වර්ග ලබා දීමේදි සැලකිලිමත් විය යුතුය.
ඉහත සඳහන් කල ආහාර ඒ ඒ උදවියගේ ශරීර තත්වයන් අනුව ලබා දීමට කාන්තා ඔබ නුවණක්කාර වීම අතිශය වැදගත්ය.

කරවිල, තුඹ, රාබු, නෝකෝල්, ගෝවා මල්, පිපිඤ්ඤා , ගොටුකොළ , ගෝවා, කැරට්, බෝංචි , කංකුං, දිය බෙරලිය, පතෝල, වැටකොළු, පොලොස්, කෙසෙල් මුව, දඹල, වැනි ආහාර වර්ග ඕනෑම අයෙකුගේ ආහාර වේලකට එක් කර ගැනීමට හැකි නම් එය ඔබට පූර්ණ හිතකර ලෙඩ රෝගයන් ගෙන් තොර සෞඛ්‍ය තත්වයක්  ලගා කර ගැනීමට ඉවහල් වේ


මෙම ලිපි පෙළ මගින් වැටහෙන පරිදි සව් කැඳ ශීත ආහාරයකි. .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Sep 2019 Wed 12:58 PM