ප්‍රශ්න තොරතුරු

මට දැන් අවුරුදු 6ක විතර ඉදන් කොන්දේ කැක්කුමක් තියෙනවා. පොඩි කලෙත් ටිකක් තිබුනා. මොටෝර් සයිකලේ යද්දී ගැස්සිලා තමයි වැඩි උනේ. X-ray ගත්තත් නොර්මල් කිවුවා. එත් කැක්කුමක් තියෙනවා. කොදු ඇට පේලිය මැදක ඉදන් බෙල්ල කොඳු අට අල්ලදිත් රිදෙනවා. මසකට දෙවතාවක් වගේ ලොකු කැක්කුමක් එනවා. එතකොට මුළු ඇගේම අස්ථි රිදෙනවා. මේ සදහා මා කුමක් කල යුතුද. පිළිතුරක් ලබාදෙන්න, මෙය සුව කල හැකිද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ ගැටළුව පිළිඹඳව පිළිතුරු ලබා දීමට මෙහි දක්වා ඇති කරුණු ප්‍රමාණවත් නොවුනත් උපකාරී විය හැකි කරුණු පහත දක්වමි.

1) ඔබේ රෝග ලක්ෂණ අනුව මෙය කොඳුඇට පේලියේ අස්ථි සම්බන්ද ස්නායු හෝ පේශීමය තෙරපීමක් හෝ වැරදි පිහිටීමක් නිසා ඇතිවිය හැකිය.

2) එමෙන්ම මෙය හුදෙක් ඔබගේ වැරදි ඉරියව්වක් නිසා ක්‍රමානූකූලව වැඩිවූ තත්වයක්ද විය හැකිය. X-Ray වාර්‍තාව සාමාන්‍ය වුවත් එයින් නිගමනයකට එළඹිය නොහැක. ඔබගේ වේදනාව බෙල්ල දක්වා ගමන් කරන බැවින් පූර්ණ X-Ray පරීක්ෂාවක් සමග තවත් මූලික පරීක්ෂා කීපයක් අවශ්‍ය වෙයි. එමෙන්ම ඔබේ වයස , බර, උස හා නිවරැදි රෝග ඉතිහාසය වෛද්‍යවරයාට පැවසීමෙන් රෝග නිශ්චයට එළඹීම පහසුය.

3) මේ සඳහා ඔබේ ළඟම පිහිටි රජයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යොමු වී ඒ හරහා විකලාංග වෛද්‍ය සායනයකට හෝ හැකිනම් ස්නායු ශල්‍ය වෛද්‍ය සායනයකට යොමු වී උපදෙස් ලබා ගන්න. විශේෂයෙන්ම මෙම රෝග ලක්ෂණ වලට අදාලව ශුසුම්නාව හා කොඳුඇට පේලිය සම්බන්ද යම් තෙරපුමක් හෝ අවහිරයක් ඇති /නැති බව දැන ගැනීම ඉතා වැදගත් බව අවදාරණය කරමි.

4) හැකි ඉක්මනින්ම මෙම ක්‍රියාවලිය හරහා වෛද්‍ය උපදෙස් හා පරීක්ෂණ වලට යොමු වීම ඉතා උචිතය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:42 PM

අදහස්